දැන් දේශීය ණය ගෙවීමත් ගැටලුවක් – හර්ෂ ද සිල්වා

122

විදේශ ණය ගෙවීමට අමතරව දේශීය ණය ගෙවීමට ද මේ වන විට ගැටලුවක් පැන නැගී ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

2023 විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් හෙතෙම එසේ සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය. අපේ උද්ධමනය සියයට තිහයි කියලයි පුරෝකථනය කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සියයට තිහයි කීම සාධාරණය කියා අපි විශ්වාස කරනවා.

ඒත් එකක් මතක තියාගන්න ඕනා. උද්ධමනය වැඩි නිසා තමයි රජය ලබා ගන්නා බදු ප්‍රමාණය වැඩි කරන්න වෙලා තිබෙන්නේ. අපට 2023 ජුනි මාසේ 30 වැනිදා දක්වා විදේශ ණය ගෙවන්න අවශ්‍ය නෑ. ඊට පස්සේ රජයට දෙසැම්බර් වෙනකම් සියයට 50යි විදේශ ණය ගෙවන්න ඕනේ.

දැන් තිබෙන ප්‍රශ්නේ අපට තිබෙන ලොකුම වියදම තමයි දේශීය පොලිය. දේශීය පොලිය ඉතා ඉහළ නිසා කෙටිකාලීන මාස තුනේ ණය තමයි රජය ලබා ගන්නේ. ඒකටත් පොලිය සියයට 33ක් ගෙවනවා. මේක ඉස්සරහට කරගෙන යන්න බැරිවෙයි. මේ පොලිය අඩු කරන්න නම් අපට දේශීය ණය ගැන හිතන්න වෙනවා. අපට දේශීය ණය ගෙවීමට ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – මම හර්ෂ මන්ත්‍රීතුමා සමග එකඟ වෙනවා. අද දේශීය ණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරු වෙනවා. අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදහසක් නෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment