යාපනය සිසුවියගේ අත කැපීමේ සිද්ධියේ හෙදියට විදෙස් ගමන් තහනමක්

150

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ අට හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම වාට්ටුව භාර හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 7 දා නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ දැරියගේ පියා ඇතුළු පිරිසක් එම හෙදියට එරෙහිව යාපනය අධිකරණය වෙත ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.

යාපනය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ හෙදියක් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර ඇයගේ නොසැලකිල්ල හා වැරදි ලෙස එන්නතක් ලබාදීම හේතුවෙන් දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍යවරු දෙදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් කැඳවා ඇති අතර ඔවුන්ගේ වාර්තාව මේ වනවිට ලබා දී අවසන්ව ඇතත් වරදකරුවන් සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තොරතුරු හෙළි නොකිරීම නිසා යාපනය රෝහල ඉදිරිපිට විරෝධතා කීපයක්ම සංවිධානය කොට තිබුණි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාරවරියගේ සහාය ඇතිව එම විරෝධී කණ්ඩායම් පොලිසිය යොදවා ඉවත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගෙන් මේ ප්‍රශ්නයට සාධාරණයක් ඉල්ලා යාපනයේ වැසියන්ගෙන්

පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ. පොලිසිය විරෝධතාකරුවන් ඉවත් කළද ඔවුන් යාපනය නගරයේ කෑ කෝ ගසමින් සාධාරණයක් ඉල්ලා පෙළපාලි ගියහ. පොලිසියේ මැදිහත්වීම මත එයද අසාර්ථක වීමෙන් පසුව යාපනයේ පිරිසක් දැරියගේ පියා හා ඥාතීන් කීප දෙනෙකු කැටුව යාපනය අධිකරණය වෙත ගොස් අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් හෙදියගේ විදෙස් ගමන් තහනම්කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුව ලබන 18 වැනිදාට විභාග කිරීමටද යාපනය අධිකරණය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment