අයි.පී.එල්. තරගාවලියේ පෙරළි කරමින් මතීෂ දෝනිගේ චෙන්නායි දිනවයි

401

මෙවර අයිපීඑල් තරගාවලියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ එම තරඟයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් වූයේය.

ඔහුගේ එම විශිෂ්ට පන්දු යැවීම හමුවේ මුම්බායි ඉන්දියන්ස් පරදා ලකුණු 20 ක ජයක් හිමිකර ගැනීමට ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (14දා) පැවති එම තරඟයේ මතීෂ පතිරණ විසින් ඉෂාන් කිෂාන්, සූර්යකුමාර් යාදව්, තිලක් වර්මා හා රොමාරියෝ ෂෙපර්ඩ්ගේ කඩුලු දවා ගන්නා ලදී.

ලකුණු 207 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 7 ක් තුළ ලකුණු 70 ක් ලබා ප්‍රබල අවධියක සිටියදී මතීෂ පතිරණ ලකුණු අතර සිටි ඉෂාන් කිෂාන් හා ප්‍රබල පිතිකරු සූර්යකුමාර් යාදව් දවා ගනිමින් තරගය තමන් අතට හරවා ගැනීමට සමත් වූයේය.

ලකුණු 207 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ක්‍රීඩකයින්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි.

එම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක්‍රීඩකයින් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 206 ක් රැස් කළහ. නායක රුටුරාජ් ගායික්වාද් තරගාවලියේ අඛණ්ඩය සිය දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 69ක්, පන්දු 40 ක් තුළ රැස් කළේය.

ඔහුට අගනා සහයක් ලබා දෙමින් ශිවම් ඩුබේ ලකුණු 66 ක් පන්දු 38 කදී හතරේ පහර 10 ක් හා හයේ පහර 2 ක් ආධාරයෙන් ලබා ගත්තේය.

මතීෂ ශාරීරික යෝග්‍යතාවයේ ගැටලුවක් හේතුවෙන් තරගාවලියේ චෙන්නායි හා කොල්කටා මෙන්ම හයිද්‍රාබාද් අතර පැවති තරගය ද අහිමිවීමෙන් පසු සහභාගි වූ පළමු තරගයේදීම මෙම දස්කම දැක්වීමට සමත්වීම කැපී පෙණින.

මතීෂ මේ දක්වා කඩුළු 8 ක් දවාගෙන ඇති අතර ඔහු මේ සමගින් තරගාවලියේ වැඩිම කඩුළු ලාබීන් අතර සම 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

මේ අතර පෙරේදා (14දා) තරගයේදී මුම්බායි හිටපු නායක රෝහිත් ෂර්මා සිය අයි.පී.එල්. දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. පන්දු 61 කදී ඔහුගේ ශතකය වාර්තා විය. ඔහු සමස්ත තරගයේදී පන්දු 63 කදී නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment