ආණ්ඩුකාර විෂබීජය

1161

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලයෙන් වසරක් ගෙවී යෑමට ආසන්නව තිබියදී පෙර ආණ්ඩුව විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් සිව්දෙනකුට ඉල්ලා අස්වන ලෙස දන්වන ලදි. දැනට තිබෙන ආරංචියේ හැටියට මේ ආණ්ඩුකාරවරුන් හතරදෙනා ඉල්ලා අස්වන්නේ නැතිලු. කවර හෝ තදයකුගේ නීති උපදෙස් මත මේ ආණ්ඩුකාරවරුන් දිගටම නිලයේ රැඳී සිටීමට තැත් කරන බවට ආරංචි පැතිර යයි. මෙය සමාන වන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ ආණ්ඩුව අතර පවත්නා අරගලයට ය. ආණ්ඩුව ජනක රත්නායක තනතුරෙන් ඉවත් කළ යුතු බව දිගටම කියයි. එහෙත් ජනක රත්නායක මළාට ඉල්ලා අස්වන්නේ නැත. ඔහු ආණ්ඩුවෙන් ගේමක් ඉල්ලන බව පෙනුනද, ආණ්ඩුව ගේම දෙන බවක් නොපෙනේ. අලුතින් පටන් ගත් ආණ්ඩුකාරයන් සමග කඹ ඇදිල්ලද අන්තිමේදී විශාල වාතයක් වනවා ඇත. ආණ්ඩුකාරයා යනු දේශපාලන පත්වීමකි. අලුත් ජනාධිපති බලයට පත් වී සෑහෙන කලක් ගතවන තුරුත් ආණ්ඩුකාරයන් ඉල්ලා අස් නොවූ නිසා ඉවත්ව යන ලෙස ඔවුන්ට කටින්ම කීමට සිදුවී ඇතැයි ආණ්ඩුව කියයි. අපට හැඟෙන පරිදි මේ රටට පළාත් ආණ්ඩුකාරයන්ගෙන් වැඩක් නැත. මෙය ඉන්දියාව විසින් අපේ රට මත පළාත් සභා පනත පටවා ඒ ඔස්සේ දමන ලද විශාල ලෙඩකි. ඇත්තම කතාව නම් මේ රටට පළාත් සභා ද වැඩක් නැත. එහෙත් මේවා අත්හැරීම මේවා පටන්ගත්තාක් මෙන් ලෙහෙසි නොවේ. ඊටත් වඩා වැදගත් කතාවක් ඔබට කියමු. පරිපාලන හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීම නිසා පළාත් සභා කිහිපයක පළාත් අරමුදල් විනාශ වී ඇතැයි රාජ්‍ය විගණනයේදී පෙනී ගොස් තිබේ. මෙතැන් සිට සාකච්ඡා කරන්නේ ඒ කාරණයයි.

අපේ පුවතේ සඳහන් වන පරිදි මේ කියන පළාත් ආණ්ඩුකාරවරු කිසිදු පාලනයකින් තොරව හිතුමතේ මුදල් වියදම් කර ඇත. එක්තරා පළාත් ආණ්ඩුකාරයකු ටින්මාළු කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම, පලතුරු බීම සැකසීම, දියර පොහොර නිපදවීම, කෘෂි නිෂ්පාදන අපනයන ව්‍යාපෘතියක් පටන් ගැනීම යනාදිය සඳහා රුපියල් කෝටි 85 ක මුදලක් වැය කර තිබේ. එහෙත් ඒ ව්‍යාපෘති එකක්වත් හරියට ක්‍රියාත්මක නොවන අතර රුපියල් කෝටි 85 ගඟේ මුහුදේ දැම්මා පරිදි නන්නත්තාර වී ඇත. ඇතැම් ආණ්ඩුකාරවරයෙක් තම දූ දරුවන් හා දේශපාලන හිතවතුන් පළාත් ආයතනවල ඉහළ තනතුරුවලට පත්කර සුඛෝපභෝගී වාහන, අසීමිත ඉන්ධන, වැටුප් යනාදිය ඔවුන්ට ලබා දී ඇත.

මෙයට කලකට පෙර දකුණේ නොවන පළාතක සිටි පළාත් ආණ්ඩුකාරයා කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව රජයේ මුදල් නාස්ති කළේය. ඔහුගේ නිල වාහනය ගමන් කරද්දී එහි ආරක්‍ෂාවට සන්නද්ධ වාහන හය හතක් ද ගියේය. මේ ආණ්ඩුකාරයා මේ තරම් ආරක්‍ෂා කළ යුතු පුද්ගලයකු නොවේ. ඔහුට කිසිදු මරණ තර්ජනයක් තිබුණේ නැත. ඔහු මරණවා නම් ඒ ඔහුගේ ණයකාරයන් පමණි. ලොරෙන්සෝ ද අල්මේදා මෙන් හතරවටේට ණය වී සිටි ඔහු එම ණය මුදල්වලින් තමනුත් පිස්සු කෙළ, දරුවන්ටත් පිස්සු කෙළීමට ඉඩ හැරියේය. වරක් ඔහු තම ප්‍රදේශයට පිටරටින් ගුවන් යානයක් ගෙන්වා ගත්තේය. නිසි පහසුකම් නැති ගුවන් තොටුපළක් නොවන තැන්වලට ගුවන් යානා බැස්සවීම නීති විරෝධී කාරණයකි. එදා එලෙස පැමිණි ගුවන් යානයේ සිටි පිරිස විදේශිකයන් වුවද, වීසා සහ පාස්පෝර්ට් නොමැතිවම ලංකාවට පය තැබූහ. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ ගමන ගැන දැන සිටියේ නැත. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ද මේ ගමන ගැන දැන සිටියේ නැත. එහෙත් නීතියෙන් කිසිදු දොසක් නොලබා ප්‍රශ්නයෙන් ගැලවීමට ඔහුට හැකි විය.

සාමාන්‍යයෙන් රටේ වැඩිහරියක ආණ්ඩුකාරවරුන් ලෙස පත්කරන්නේ පරිපාලන සේවයේ නියුතුවී සිට විශ්‍රාම ගත් අය හෝ යුද හමුදාවේ සේවය කළ උසස් නිලධාරීන් ය. ලංකාවට මේ දෙවැනි වර්ගය නො එසේ නම් යුද හමුදාවේ විශ්‍රාමික කට්ටිය හරියන්නේම නැත. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා සිය ධුර කාලය පටන් ගත්තේ විශ්‍රාමික රණවිරුවන් කිහිපදෙනකු උසස් තනතුරුවලට පත්කරමිනි. මේ විශ්‍රාමිකයන් පිරිස යුද බිමට හරි ගියාට දේශපාලන පිට්ටනියට හරිගියේ නැත. විශේෂයෙන් එකල ජනාධිපතිවරයා වටකරගෙන සිටි ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් කෙළින තරමක් කෙළියේ පිස්සු ය. මේ නිසා පරිපාලන කටයුතුවල සිටි ඇතැම් විශ්‍රාමික හමුදා ප්‍රධානීන් ට්‍රාන්ස්පෝර්ට් වැඩවලට මාරුකිරීමට පවා ජනාධිපතිට සිදුවිය. අපගේ වැටහීම නම්, ආණ්ඩුකාර පදවි තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇත්නම් ඒ සඳහා විශ්‍රාමික පරිපාලන නිලධාරීන් පත්කළ යුතු බවය. එසේ නැතිව ගායකයන්, එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්, නැසීයෑමට ආසන්න වයෝවෘද්ධ දේශපාලනඥයන් යනාදීන් ආණ්ඩුකාර තනතුරුවලට පත්කිරීමෙන් ආණ්ඩුවත් රටත් යන දෙකම හැඳිගෑවී යයි. යහපාලන ආණ්ඩුව මේ කාරණය සම්බන්ධයෙන් සජීවී සාක්‍ෂි සපයා ඇත. රාජපක්‍ෂ ආණ්ඩුවද මේ සම්බන්ධයෙන් සාක්‍ෂි සපයා තිබේ. එබැවින් අප සිතන්නේ පළාත් සභා යන විෂබීජය තවදුරටත් පවතිනවා නම් හිටපු පරිපාලන නිලධාරීන් ආණ්ඩුකාර තනතුරුවලට පත්කර එම විෂබීජය මට්ටු කළ යුතු බවය. ආණ්ඩුකාරවරයෙක් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය ය. ඒ මදිවාට මහ ඇමැතියෙකුත් හැම පළාතකටම සිටී. ආණ්ඩුකාර කාර්ය මණ්ඩලය, ආණ්ඩුකාර නිල නිවස, ආණ්ඩුකාරයාගේ වාහන, ආණ්ඩුකාරයාගේ දුරකථන ඇමතුම්, ආණ්ඩුකාරයාගේ පාටි යනාදියට විශාල මුදලක් වැය කිරීමට ආණ්ඩුවට සිදුවේ. මේ සියල්ල ජනතාවගේ බදු මුදල් ය. අප මත පළාත් සභා පැටවූ ඉන්දියාව මේවායේ නඩත්තුව සඳහා සත පහක් දෙන්නේ නැත. මේ කතාව අදට මෙතෙකින් නවතී. ඉදිරියේදී ආණ්ඩුකාරයන් නඩත්තුව සඳහා යන සුවිශාල මුදල හෙළි කරමින් තවත් කතුවැකියක් ලිවීමට අපේක්‍ෂා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment