අද අප මෙය මෙතකින් නවත්වන්නේ අපේ පණ බේරාගැනීම පිණිසය

1113

ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක්ද? ඔව්. එය ස්වයංපෝෂිතය. පළමුකොට එය දේශපාලන කයිවාරුකාරයන්ගෙන් ස්වයංපෝෂිත වූ රාජ්‍යයකි. දෙවනුව එය රථ වාහන වලින් ස්වයං පෝෂණය වූ රාජ්‍යයකි. අපට තිබෙන දත්තවලට අනුව දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයක් වෙසෙන මේ රටේ මෝටර් වාහන අසූ පන් ලක්ෂයක් ඇත. ඒ අතර මේ රටේ පවුල් හය ලක්ෂ පනස්දාහකට වාහන දෙකක් හෝ කිහිපයක් බැගින් තිබේ. මේ රටේ රාජ්‍ය අංශය සතුව මෝටර් වාහන අසූ පන්දාහක් ඇත. වඩාත්ම සිත්ගන්නා සුළු කරණය වන්නේ එම වාහන වලින් 50%ක් හෙවත් හාර ලක්ෂ විසිපන්දාහක්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පැවතීමය. අප මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන පද්ධතිය සහ නාවික ප්‍රවාහන පද්ධතිය ගණනය නොකර රෝද හතරේ, රෝද දෙකේ සහ රෝද තුනේ වාහන පමණක් ගණනය කර ගනිමිනි. මෙයට අවුරුදු 12 ට පෙර එනම් මොන්ටෙරෝ වාහනයේ අලුත්ම මොඩ්ල් එක සහ ලෑන්ඩ් රෝවර් – රේන්ජ් රෝවර් වාහනවල අලුත්ම මොඩ්ල් ලංකාවට පැමිණි කාලයේදී ලෝක බැංකුවේ ආධාර කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. එම සංචාරයෙන් පසු මේ රටේ රාජ්‍ය නිලධාරීන් හමුවූ එම කණ්ඩායම ලංකාවට ණය දිය යුත්තේ කවර පදනමක් සලකා ද යන ප්‍රශ්නය තමන් තුළ හටගත් බව ඇත්තට හෝ විහිළුවට ප්‍රකාශ කළහ. ලෝකයේ වඩාත් දියුණු රටවලවත් නැති අලුත් වාහන මොඩ්ල් පාරවල් පුරා දුවන ලංකාව බැලූ බැල්මට ධනවත් රාජ්‍යයක් ලෙස පෙනී යන බව එම නිරීක්ෂකයෝ කීහ. හැබැයි මෙයට අවුරුදු 12 ට පෙරත් අප සම්පූර්ණයෙන්ම ජීවත් වුණේ ණයට ගත් සල්ලි වලිනි. ණයට ගත් සල්ලි වලින් 25% ක් පමණ දේශපාලනඥයන් විසින් ගසාකන ලද අතර ඉතිරි 75% න් තව 25% ක් නිලධාරීහු විනාශ කළහ. රටේ සංවර්ධන වැඩ හෝ ජනතාවට ප්‍රයෝජනවත් වැඩ හෝ කරන ලද්දේ ඉතිරි ස්වල්පයෙනි. ශ්‍රී ලංකාව යනු රථ වාහනවලට පුදුම තණ්හාවක් ඇති ජනයා වෙසෙන රටකි. අපේ රටේ කිසි කෙනෙක් තම ප්‍රවාහන අවශ්‍යතාව මරුටි කාරයකින් අවසන් කරන්නට කැමති වන්නේ නැත. සියලු දෙනාම අදහස් කරන්නේ මරුටි කාරයකින් ජීවන ගමන අරඹා V 8 රියකින් අවසන් ගමන් යෑමටය. කෙනෙක් දියුණුවීම ඉතාම සාධනීය කාරණයකි. එහෙත් එම දියුණුව සිදුවන්නේ අනුන්ගෙන් ණයට ගෙන නම් එහි සත පහක වැඩක් නැත. වත්කම් සහ බැරකම් සමාන කර බැලූ විට ශූන්‍යයක් පමණක් ඉතිරි වන බිලියනපතියෝ කිහිපදෙනෙක් මේ රටේ වෙසෙති. එහෙත් එබඳු බිලියනපතියන්ගෙන් වැඩක් නැත. කිසියම් මොහොතකදී බැරකම් අයිතිකාරයන් විසින් වත්කම් ටික පවරා ගත්තොත් එම බිලියනපතියන්ට සිදුවන්නේ මහපාරේ හිඟා කෑමටය. ඉහතින් අප සඳහන් කළේ වාහනවලට සම්බන්ධ අතුරු කතාවකි. දැන් අපි අපේ මුඛ්‍ය කතාවට එළඹෙමු.

සියලු රාජ්‍ය ආයතනවල තිබෙන සංචිත වාහන භාවිත කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට මහා භාණ්ඩාගාරය විසින් රජයේ සියලු ප්‍රධානීනට දැනුම්දී ඇත. එම දැන්වීමේ සඳහන් වන පරිදි රැස්වීම් පැවැත්වීම සඳහා කිලෝමීටර් තුන් හාරසීය ගමන් කිරීමට දැන් අවශ්‍ය නැත. ඒ සඳහා තමන් ඉන්නා තැනම සිට zoom තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්විය හැකිය. කොපමණ කරදර තිබුණත් සෑම කල්හිම ආණ්ඩුවේ වැඩ සඳහා උසස් මට්ටමේ වාහන ගෙන්වනු ලැබේ. ඒ වාහන ඒවා නිපදවන සමාගම්වල අලුත්ම මොඩ්ල් වෙති. ඇතැම් විට සීට් 20 ක් පමණ ඇති මෙවැනි වාහනයකට නගින රජයේ එකම එක නිලධාරියෙක් කිලෝමීටර් 200 ක් පමණ ඈතින් පිහිටි රැස්වීමකට සහභාහි වීමට යයි. එම රැස්වීම අත්‍යවශ්‍යම එකක් නම් සහ එම රැස්වීමට තමන්ම යායුතු නම් ඒ සඳහා කුඩා කාර් එකක් පාවිච්චි කිරීමට හැකි වුවද නිලධාරියා එසේ කරන්නේ නැත. ඒ තමයි උගේ ලොකුකම. මේ රටේ ඇතැම් රාජ්‍ය නිලධාරීහු දේශපාලනඥයෝ ‘දදප තාක්ෂණයෙන් රැස්වීම් පැවැත්විය හැකි තැන්වලට වාහන වලින් යන්නේ එම රැස්වීම නිමවූ පසු ආණ්ඩුවේ වියදමින් හෝටලයක ලැග fun එකක් ලබා ආපසු එනු පිණිසය. දේශපාලනඥයෙක් කබල් හෝටලයකට යන්නේ නැත. ප්‍රදේශයේ තිබෙන හොඳම හෝටලය තරු පහේ එකක් නම් ඔහු එම හෝටලය තෝරාගනී. කිලෝමීටර් දෙතුන් සීයක් ඈතින් තිබෙන එම හෝටලයට ඔහු යන්නේ බෙන්ස් රථයකින් හෝ BMW රථයකිනි. ඔහු පිටුපසින් තවත් සුඛෝපභෝගී රථ දෙක තුනක් යන අතර ඒ රථ පෙළට ඉස්සරහින් හෝ පිටිපස්සෙන් ආරක්ෂක රථ කිහිපයක්ද මෝටර් සයිකල් දෙකක්ද ගමන් ගනිති. ඇතැම් විට අද ගොස් හෙට එන මෙවැනි ගමනක් සඳහා හෝටල් ගාස්තු, ඉන්ධන ගාස්තු සහ වාහනවල වේස්ටේජ් යනාදිය ගණනය කර බැලූ කල්හි වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ දහයක් පමණ වේ. දුර පළාත්වල පවත්නා රාජ්‍ය උත්සව සඳහාද නිලධාරීහු තොග පිටින් යති. එම උත්සවයට ජනාධිපති, අගමැති හෝ ඇමැති එන්නේ නම් ඔහුට මුහුණ පෙන්වීම පිණිස පමණක්ම කොළඹින් යන සෙට් එකක් වේ. මුලින්ම රස්සා වලින් එලවා දැමිය යුත්තේ මේ සෙට් එකය. බලගතු දේශපාලනඥයා එදින රාත්‍රී දුර පළාතේ නවතින්නේ නම් නිලධාරීන් සෙට් එකත් ඒ පළාතේම නවතී. රාත්‍රී කාලයේදී කරටි කැඩෙන්නට ගසා විවිධ අපචාර ක්‍රියාවල නිරත වෙති. මේ සියල්ලම මේ රටේ දුප්පත් මිනිසුන්ට ආහාර සඳහා වැය කිරීමටත් ඉගෙනගන්නා ළමයින්ට පොත් අරන් දීමටත් යෙදවිය හැකි සල්ලි බව මේ නිලධාරීන් මතක්කර ගන්නේම නැත. එවැනි දේ මතක්කර ගතහොත් හිතට වදයක් වීමට ඉඩ තිබේ.

මේ රටේ දේශපාලනඥයන් ගමන් බිමන් යන විට සහපිරිවරින් යති. සමහරවිට ඔහු සමග යන වාහන පෝලිම දහයක් පහළොවක් පමණ වේ. මේ මිනිසුන්ට ඉන්ධන කොහෙන් ලැබන්නේ දැයි අපි නොදනිමු. සමහරවිට ඔවුන්ගේ ඉඩම්වල අප නොදන්නා තෙල් ළිං තිබෙනවා වන්නට පුළුවන. ඒ අතර සාමාන්‍ය මන්ත්‍රීවරුන් පවා තම ගමන් බිමන්වලදී විශේෂ ආරක්ෂාවක් ලබා ගනිති. යුද්ධයක් නොමැති මේ අවස්ථාවේදී මේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට කවුරුවත් එන්නේ නැත. එනවා නම් එන්නේ ඡන්ද දායකයන් පමණි. පෙරකී දේශපාලනඥයන් ඡන්ද දායකයන්ට පොරොන්දු වී ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ගොස් එම පොරොන්දු ඉටු නොකර fun එකේ ඉන්නවා නම් ඔවුන්ට ඡන්ද දායකයන්ගෙන් මරණ තර්ජන ඇතිවීමට පුළුවන. එම මරණ තර්ජන ඉතාම සාධාරණ බව අපි කල්පනා කරමු. මේ කතුවැකිය තවත් දිගට ලිව්වොත් ඉතා භයානක දේවල් ලියවීමට ඉඩ තිබේ. එබැවින් අපේ පණ ගලවා ගැනීම සඳහා අප මේ කතු වැකිය අදට මෙතැනින් නවත්වමු.

advertistmentadvertistment
advertistmentadvertistment