අද මැයි දිනය

429

(එදත් සූරා කෑම අදත් සූරා කෑම)

අද පැවැත්වෙන මැයි දිනය පිළිබඳව පූර්වාරම්භක ප්‍රදේශයක් අපි ඊයේ මේ තීරුව තුළින් ගත්තෙමු. ලෝක මැයි දිනයේ ආරම්භය සහ මේ රටේ මැයි දිනය පිළිබඳ ආරම්භය කාරණා කිහිපයක් අපි මෙහිදී සාකච්ඡා කළෙමු. මැයි දිනය යනු කම්කරු ජනතාවගේ දිනයයි. අද වනවිට පෙම්වතුන් වෙනුවෙන් ද සීයා සහ ආච්චි වෙනුවෙන් ද අම්මා සහ තාත්තා වෙනුවෙන් ද පරිසරය වෙනුවෙන් ද යනාදී වශයෙන් දින වෙන්වී ඇත. අවුරුද්දේ දවස් 365ට වඩා සැමරුම් දින ප්‍රමාණයක් කැලැන්ඩරයෙහි තිබේ. මේ නිසා ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය එකම දිනයකදී පැවැත්වීමට අපට සිදුවී ඇත. කැලැන්ඩරයෙහි තිබෙන සැමරුම් දින බොහොමයක් වාණිජ පරමාර්ථය උදෙසා නම් කෙරුණු දිනයන් ය. කැලැන්ඩරයේ තිබෙන සැමරුම් දිනවලින් දේශපාලන පරමාර්ථ උදෙසා යොදා ගත් එකම දිනය මැයි දිනය බව අපගේ විශ්වාසයයි.

මැයි දිනය යනු ස්ථිර වශයෙන්ම කම්කරු ප්‍රජාව උදෙසා වෙන් කළ දිනයක් බව අපි අවස්ථා ගණනාවකදීම සඳහන් කර ඇත්තෙමු. පසු කාලයේදී මෙය දේශපාලන දිනයක් බවට පත් වූයේ සෑම කම්කරුවකුටම ඡන්දයක් හිමි නිසාය. අද වනවිට දේශපාලන පක්‍ෂ විසින් මැයි දිනය ගිලගනු ලැබ ඇත. අරක්කු භාගයක්, රුපියල් දෙදහක් සහ බිරියානි පාර්සලයක් ලබාදී මැයි දිනයට සෙනඟ ඇද්දවීමට කොන්ත්‍රාත් ගන්නා දේශපාලන කොන්ත්‍රාත්කාරයෝ ඕනෑ තරම් අද මේ රටේ සිටිති. ඉන්දියාවේ ද මෙවැනි කොන්ත්‍රාත්කාරයන් සිටීමට ඉඩ ඇත. එහෙත් මැයි දිනය සමරන කිසිදු යුරෝපීය රටක මත්පැන් බෝතලයට පෙළපාලි යන කට්ටිය නැත. මැයි දිනය ගැන ලිවීමේදී අප විමසා බැලිය යුතු වැදගත්ම දෙය වන්නේ මැයි දිනයේ ප්‍රමුඛ අමුද්‍රව්‍ය වන කම්කරු පංතිය තවදුරටත් මේ රටේ සිටින්නේ ද යන්න ය. එක්දහස් නවසිය පණස් ගණන්වල සිටි කළු ගැසුණු හම ඇති නිතර කුසගින්නේ පෙළෙන ගංජා ගසන, බීඩි බොන හොටු පෙරාගත් අපිරිසිදු කම්කරු පංතියක් අද ලංකාවේ නැත. නූතන කම්කරුවාගේ මොඩලය ඉතාම වෙනස් ය. කම්කරු පංතියෙන් 80%ක් අත ස්මාර්ට් ෆෝන් එකක් තිබේ. කම්කරු පංතියෙන් 50%කට පමණ අවම වශයෙන් රෝද දෙකේ බයිසිකලයක්වත් ඇත. කම්කරු පංතියෙන් 80%කට පමණ ස්ථිර නිවාස තිබේ. ඔවුන් තවදුරටත් ගෙවල් අයිතිකාරයාට යටත් නැත. කම්කරු පංතියේ බාහිර ස්වරූපය දියුණු වුවද එහි අභ්‍යන්තර විලාපය තවමත් එසේ ම ඇදෙමින් පවතී. මේ විලාපයට හේතු වී ඇත්තේ සූරාකෑම නමැති ධනවාදී සාධකය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් අදටත් එසේම පැවතීමය. 18 වන සියවසේ කම්කරු ජනතාව පිළිබඳව කාල් මාක්ස් විසින් කදිම විග්‍රහයක් කරනු ලැබ ඇත. ඔහු කියූ පරිදි 18 වන සියවසේ කම්කරුවාගේ ප්‍රධාන ආහාරය අර්තාපල් සහ ගෝවා ය. ඔවුහු පළමුවත් අර්තාපල් සහ ගෝවා අනුභව කළහ. දවල් කෑමටත් අර්තාපල් සහ ගෝවා අනුභව කළහ. රාත්‍රි කෑමටත් ඔවුන් ගත්තේ අර්තාපල් සහ ගෝවාය. මේ නිසා ඔවුන්ගේ ජීවිත ද අර්තාපල් සහ ගෝවා මෙන් නිරර්ථක විය. නූතන එංගලන්තයේ කම්කරු පංතිය අද විස්කි පානය කරයි. ඔවුන් උදෑසන ආහාරය වශයෙන් ගන්නේ හොට් ඩෝග්, වෙජිටබල් සැලඩ් සහ සුප්ය. ඔවුන් රාත්‍රි කාලයේ ආහාරයට ගන්නේ බර්ගර්ය. ඒ සියල්ලටම අමතරව ඔව්හු නිතරම මත්පැන් පානය කරති. අවසන් විග්‍රහයේදී මේ මිනිසුන් වැඩිපුර ගිල දමා ඇත්තේ පිටි සහ මස්ය. එංගලන්තයේ ඉහළ මධ්‍යම පංතිය වඩා පෝෂ්‍යදායක ආහාර සඳහා වියදම් කරද්දී මේ රටේ කම්කරු පංතිය පිටි ගුලි ගිල දැමීම පෝෂණවේදීන් දකින්නේ ඛේදවාචකයක් ලෙසය. හැම රටකම කම්කරු පංතිය ඒ ඒ රටවලට ආවේණික පරිදි බඩ පිරෙන පෝෂ්‍යදායක නොවන ආහාර ගිල දමති. මේ ආකාරයෙන් පිදුරු ගිල දමන කම්කරු පංතියක් ලංකාවේ ද සිටිති. ඒ වූකලී වතු කම්කරුවෝ ය. ලංකාවේ වතු කම්කරු ප්‍රජාව මීට අවුරුදු 100කට පෙර අනුභව කළේ පාන් පිටිවලින් සෑදූ රොටීය. ඔවුන් අදත් තුන් වේලටම කන්නේ පාන් පිටිවලින් සෑදූ රොටීය. අපගේ මතයේ හැටියට මෙරට කම්කරු පංතියේ නියම සාම්පලය වන්නේ වතුකරයේ කම්කරු ජනතාවය. එම ජනතාව වතු අයිතිකරුවන් විසින් දැඩිසේ සූරා කෑමට ලක්කරනු ලැබ ඇත. එසේම වතුකරයේ දෙමළ කම්කරු ජනතාව පිටුපස සිටින දේශපාලක පල් හොරු ද කම්කරුවන් සූරා කෑමේ නියුක්තව සිටිති. මේ නිසා අප විසින් අවබෝධ කරගත යුතු වන්නේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කළ ද අවම වශයෙන් බයිසිකලයක ගමන් කළ ද මේ රටේ කම්කරු ජනතාව කිසියම් පොදු සාධකයකට යටත්ව සිටින බවය. ඒ පොදු සාධකය වූකලී එදත් සූරාකෑම ය. අදත් සූරාකෑම ය.

advertistmentadvertistment
advertistmentadvertistment