ඉංජිනේරුවරුන් 520ක හිඟයක්

168

රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් 520 දෙනකුගේ පමණ හිඟයක් පවතින බවත් මේ වන විට පළපුරුදු තරුණ ඉංජිනේරුවරුන් විශාල සංඛ්‍යාවක් විදේශත වී ඇති බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සඳහා ඉංජිනේරුවන් 1520 දෙනකු සිටිය යුතු වුව ද මේ වන විට සේවයේ යෙදී සිටින්නේ 1000කට ආසන්න පිරිසක් බව ද හෙතෙම පවසයි. වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන් 380 දෙනකු සිටිය යුතු වුවද දැනට සිටින්නේ 229 දෙනකු බවත් වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන්ගේ සියයට 60ක පමණ හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා කියයි.

සාධාරණ වැටුපක් නොලැබීම, පරිපාලන ගැටලු, තීන්දු තීරණ ගැනීමේ දී ඇතිවන ගැටලු, අමාත්‍යාංශවල ඉහළ තනතුරු සඳහා යෑමට නොහැකි වීම ආදී කරුණු කාරණා නිසා තරුණ පළපුරුදු ඉංජිනේරුවන් රටහැර යමින් පවතින බව ද සූරියබණ්ඩාර මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ එක් ඉංජිනේරුවරයකුට ඉංජිනේරුවරුන් තිදෙනකුගේ කාර්යයන් කිරීමට සිදුවී ඇති බවත් එය දැනට සේවයේ යෙදී සිටින ඉංජිනේරුවරුන්ට දැඩි මානසික පීඩනයක් බවත් හෙතෙම පවසයි.

ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටින විට මුදල් නොමැති බව සඳහන් කරන බවත් එහෙත් ඇතැම් ව්‍යාපෘතිවල විදේශීය උපදේශකයන් වෙත මාසයකට ලක්ෂ 75ක වැටුපක් ගෙවන බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment