විශාලතම සෙල්ලිපියෙන් රහස් රැසක් එළියට

765

ක්‍රිස්තු පූර්ව දෙවන භාගයේ හෝ ඊට පෙර සමයක, ජනාවාසයක්, කුමාරවරයෙක්, ගම්පාලකයකු ගැන මෙන්ම මැණික් කර්මාන්තය, භික්ෂූන් වහන්සේලා, ආදී මූලාශ්‍රයන් 10ක් පිළිබඳ අතිශය දුර්ලභ තොරතුරු දිඹුලාගලින් හමුවී ඇති සෙල් ලිපියෙන් දැනට අනාවරණය වී ඇතැයි ඒ පිළිබඳව පත් කළ විද්වත් කමිටුවේ සම සභාපති ආචාර්ය මාලනි ඩයස් මහත්මිය කියා සිටියාය. මෙය මෙරටින් හමුවූ විශාලම සෙල් ලිපිය වෙයි.

මෙම සෙල් ලිපිය බ්‍රාහ්මීය අක්ෂර 24ක් උපයෝගී කර ගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවත් ක්‍රි.පූ. දෙවන සියවසේ එනම් 2200ක අධික ඉතිහාසයකට උරුමකම් කියන බවත් ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොලොන්නරුව දිඹුලාගල සෙල්ලිපිය අධ්‍යනය කර සියයට හතළිහක් පමණ කරුනු සටහන් කර ගැනීමට හැකියාව ලැබුණු බව ශිලා ලේඛන කියවීම පිළිබඳ කමිටුවේ සම සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එසේම මෙම සෙල් ලිපියෙහි ඉතිරි සියයට හැටක ප්‍රමාණය දෝෂ සහිත බැවින් කියවීමට අපහසුතාවයක් ඇති බවත් වැඩිදුරටත් එය අධ්‍යයනය කළ යුතු බවත් ඒ මගින් පුරාවිද්‍යාත්මක සාධක සහිත බොහෝ කරුණු නිගමනය කර ගැනීමට හැකියාව තිබෙන බවත් මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම සෙල් ලිපියේ වූ අනුරූ පිටපක් නිර්මාණය කර ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම මේ සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් තිබෙනවා. මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හමුවී තිබෙනවා යැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය මාලනී ඩයස් මහත්මිය මෙසේ ද පැවසුවාය. දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සෙල් ලිපිවලට වෙනස් තේරුම් පද මෙම දිඹුලාගල සෙල් ලිපියෙහි අඩංගු බැවින් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කළ යුතුයි. එසේම මෙම සෙල් ලිපිය කෙටුවේ කුමක් නිසාද යන වගත් නම් ලැයිස්තු සමගින් මේක කෙටුවේ ඇයි කියලාත් සොයා ගැනීමත් වටිනවා.

දිඹුලාගල සෙල් ලිපිය කියවීම සඳහා පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ අතිරේක ලේකම්/පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් (වැඩ බලන) කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය විසින් විදුර වික්‍රමනායක මහතා වෙත පිළිගන්වා තිබේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්‍ෂ, (නාණක හා අභිලේඛණ) බුද්ධි නාගොඩවිතාන යන මහත්වරු ඇතුළු නිලධාරීන් එම අවස්ථාවට එක්වී තිබේ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment