ක‍්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් විය යුතුයි

361

පැරාලිම්පික් ජයග‍්‍රාහකයන්ට සුභ පතමින් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසය තුළ රන් සලකුණු තබමින් මලල ක‍්‍රීඩාවෙන් ලද ඉහළම ජයග‍්‍රහණය රැුගෙන දිවයිනට පැමිණි ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඊයේ (08* දින තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් කණ්ඩායම පෙරේදා සන්ධ්‍යාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ ප‍්‍රභූ පර්යන්තයේ රතුපලස මතින් දිවයිනට පැමිණියහ.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඊයේ (08* දින තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අමාත්‍යවරයා ඔවුන් සමග කෙටි පිළිසඳරක යෙදිණි.

ක‍්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් විය යුතුයි

ලෝක ශූර රන් පදක්කම්ලාභී දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයා තමා ලබාගත් ජයග‍්‍රහණය පිළිබඳව අමාත්‍යවරයා සමග අදහස් පළ කරමින් මෙසේ පැවසීය.

‘‘අපිට ගොඩාක් සතුටුයි ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව. ඉදිරියේදී අපි අපේම වාර්තාවන් අලූත් කරන්න කැපවෙලා පුහුණුවීම් කටයුතු කරනවා.

යුද හමුදාවෙන් ලැබුණු පන්නරය සමග ඔවුන්ගේ සහයෝගය අපිට ශක්තියක් වුණා. ක‍්‍රීඩා අමාත්‍යාංශය, ජාතික පැරාලිම්පික් කමිටුව මේ ජයග‍්‍රහණවලට ලොකු පිටිවහලක් වුණා.

ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් අපි වෙනුවෙන් සැලැස්මකට අනුව ලබාදෙන පුහුණුව, පහසුකම් හා දීමනා මේ ජයග‍්‍රහණවලට සුවිශාල සහයෝගයක් වුණා වගේම ක‍්‍රීඩකයන් හැටියට අපිට ඒක ලොකු දිරිගැන්වීමක්.”

අපේ පුහුණුකරු ප‍්‍රදීප් නිශාන්ත මහතා අපිට ඉතා දක්ෂ ලෙස අවශ්‍ය පුහුණුවීම් කටයුතු කිරීම සඳහා උපදෙස් ලබා දුන්නා. ඔහුගේ මගපෙන්වීම නිසා මට ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම ජයග‍්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙලකදී ජාතික ගීය වාදනය වුණා. අපේ ජාතික කොඩිය ලෙළ දුන්නා. මට හරිම සතුටක් දැනුණා ඒ වෙලාවේ. ඒක අපිට ඉමහත් අභිමානයක්. ඒ අභිමානය ජාතික පැරාලිම්පික් කමිටුවටත්, ක‍්‍රීඩා අමාත්‍යතුමාටත් ක‍්‍රීඩා අමාත්‍යාංශයටත් හිමිවිය යුතුයි. හැමෝම එකතුවෙලා මේ ගමන ගියේ නැත්නම් අපිට මේ ජයග‍්‍රහණ හම්බවෙන්නේ නැහැ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

පළමුවෙන්ම ලෝක වාර්තාවක් ද සමග පැරාලිම්පික් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් රට සහ ක‍්‍රීඩාව වෙනුවෙන් ඔබ ලබාගත් ජයග‍්‍රහණ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වගේම ඔවුන්ගේ පුහුණුකරු වන ප‍්‍රදීප් නිශාන්ත මහතා ඇතුළු සියලූම පුහුණුකරුවන්ටත් මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

ඒ වගේම මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔවුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවයන් වාර්තා කළා. ඒ පිළිබඳව ඉතාමත් සතුටුයි.

එළඹෙන තරගාවලි ඉලක්ක කරගනිමින් ඒ සඳහා පුහුණුවීම් ආරම්භ කර හොඳින් සූදානම් විය යුතුයි.

ක‍්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබ දෙස බලා සිටින අපේ දරුවන්ට ඔබ ආදර්ශයක් විය යුතුයි. ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගනිමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔබ දෙස බලාගෙන සාර්ථක වෙන්න උත්සහ කරන අපේ ඊළග පරම්පරාවට ඔබ ආදර්ශයක් වෙන්න. අපේ ඉදිරි පරම්පරාව තීන්දු තීරණ ගන්නේ සාර්ථක කතාන්දර දිහා බලලා. ක‍්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාවත් ඔවුන්ට ආදර්ශයක් විය යුතුයි. ක‍්‍රීඩාවෙන් මගේ දරුවාට හොඳ අනාගතයක් තිබෙන බව පසක් වූ විට අපේ රටේ දෙමාපියන් වුණත් බියකින් සැකයකින් තොරව තමන්ගේ දරුවන් ක‍්‍රීඩාවට යොමු කරාවි. ඒ විශ්වාසය ඔවුන්ට ලැබෙන විදියට කටයුතු කරන්න. ස්වයං විනය ඇතිව ක‍්‍රීඩාවෙන් වගේම ජීවිතය දිනන්නත් ඔබ සියලූදෙනාට මා සුබ පතනවා.

ඉදිරි තරගාවලිවලදීත් ඔබ සියලූදෙනා ඔබේ උපරිම දස්කම් දක්වමින් අපේ රට වෙනුවෙන් ජයග‍්‍රහණ ලබා ගනිවී යැයි මා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය ලෙස උපරිම සහයෝගය මා ඔබට ලබාදෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ග‍්‍රාමීය පාසල් හා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, අතිරේක ලේකම් (පාලන හා ප‍්‍රසම්පාදන) චන්ද්‍රරත්න පල්ලෙගම, යුද හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික ක‍්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන්, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) කේ.පී.පී සිරිවර්ධන මහත්මිය ඇතුළු ජාතික පැරාලිම්පික් කමිටුවේ සාමාජික මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment