ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම අවසන් තරගයට – නෙත්මිකාගෙන් පළමු පදක්කම

243

ආසියානු කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 21 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (25දා) පැවති තරග ආශ්‍රිතව මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු මූලික වටයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී මිනිත්තු 3.28.41 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කර ගනිමින් දෙවන ස්ථානය තහවුරු කර ගත් අතර එය අවසන් වටයට වරම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විය. එම මූලික වටයේ ප්‍රථම ස්ථානය ඉන්දියාව (මිනිත්තු 3.25.54) සතු විය. එකී දෙවන මූලික වටය ආශ්‍රිතව ජයග්‍රාහී රටවල් ප්‍රදර්ශනය කළ දක්ෂතා දෙස බැලීමේ දී ද ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ රැඳී සිටී.

මේ අතර පෙරේදා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට නෙත්මිකා මදුශානි හේරත් සමත් වූවාය. එය මෙවර ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලත් පළමු පදක්කම ද වන්නේය.

මොණරාගල බිබිල නන්නපුරාව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන නෙත්මිකා මදුෂානි හේරත් මෙවර ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා ශූරතා තරගාවලියෙහි කාන්තා තුන් පිම්ම ඉසව්වේ දී කැපී පෙනෙන්නට සමත් වෙමින් අදාළ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මෙවර රිදී පදක්කම දිනා ගැනීම සඳහා ගිය ගමනේදී නෙත්මිකා මදුෂානි හේරත් ප්‍රදර්ශනය කළ දක්ෂතා මීටර් 13.01 කි. ඇයගේ තුන් පිම්ම ඉසව්වේ ඉහළම පෞද්ගලික දක්ෂතාවය ලෙස ද මෙය විශේෂත්වයක් ගත්තේය.

එහි රන් පදක්කම උස්බෙකිස්තානය (මීටර් 13.33) ට හිමි වන අතර වාරයේ දී ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වන්නට කොරියාව (මීටර්12.67) ට සිදු විය.

මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ද නෙත්මිකා මදුෂානි කටයුතු කරයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment