ඉරාන ජනාධිපතිට ලංකාවට ආරාධනා කිරීම;

979

(අමුතුම මානයක දේශපාලන තීන්දුවක්)

නුගේගොඩ විජේරාම හන්දියේ ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ගැනීමට ගිය ඩෝප්කාරයෙක් වෙරි මරගාතේ යන්ත්‍ර කුටිය තුළ පැය 3ක් නිදාගෙන සිටි බවත් සොරුන් පිරිසක් පැමිණ ඔහුගේ ජංගම දුරකථනය සහ යතුරුපැදිය පැහැර ගෙන ගොස් ඇති බවත් කියන පුවතක් මිරිහාන පොලිසියෙන් වාර්තා වී තිබේ. පාටියකට ගොස් එන ගමන් අලුයම 2.30ට පමණ ඔහු ඒටීඑම් එකට රිංගුවේය. කාඩ්පත ඒටීඑම් යන්ත්‍රය තුළට දමා රහස් අංකය අමතක වීම නිසා ඔහු තැවෙන අතර ඔහුට නින්ද ගියේය. කට්ටියක් පැමිණ ඔහු සුද්ද කරන්නේ ඒ අතර ය. මේ සැරේ ඔහුට නැති වූයේ ජංගම දුරකථනය සහ යතුරුපැදිය පමණි. මීළඟ සැරේදී සොරුන් පැමිණ ඔහුගේ යට ඇඳුම පමණක් ඉතිරි වන පරිදි ඇඳුම් පැලඳුම් ද ගලවාගෙන යනවා ඇත. සමහරවිට එම සොරා අලුතෙන් හිතන පන්නයේ කෙනකු නම් යට ඇඳුම පවා ගලවාගෙන යෑමට ඉඩ තිබේ. මේ වර්ගයේ මිනිස්සු අපට අතරින්පතර හමුවේ. අප දන්නා පරිදි ඒටීඑම් යන්ත්‍රය තුළ නිදාගැනීම නීති විරෝධී කාරණයකි. ඔහු ඩෝප් මරගාතේ මෝටර් සයිකලයකින් ගමන් කර ඇති අතර එය ද නීති විරෝධී කාරණයකි. මේ නිසා මේ සිද්ධියේ වැඩි වරද පැටවෙන්නේ හොරුන්ට නොව අපගේ බේබද්දාට බව අපගේ හැඟීම ය. සමාජය මෙවැනි මෝඩයන්ගෙන් ගහනවීම සොරුන්ට විශාල හයියකි. අපගේ කතු වැකියේ මුඛ්‍ය මාතෘකාව මෙය නොවූවද මෙවැනි සමාජ මළවිකාර ගැන ඉඳහිට හෝ අප සාකච්ඡා කළ යුතුය.

ඉරාන ජනාධිපති ලංකාවට පැමිණ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම විශේෂ කාරණයකි. ලෝක දේශපාලනයේ ඉතාම විවාද සම්පන්න චරිතයක් බවට පත්වී සිටින ඉරානය නමැති රටේ නායකයා මෙවැනි අවස්ථාවක ලංකාවට ගෙන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් දේශපාලන තීන්දුව සුවිශේෂ එකකි. ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වෙලාවේ දරුණු ගැටුමක් පවතී. න්‍යෂ්ටික බලවතකු වන ඉරානය මේ වනවිට එක් වතාවක් ඊශ්‍රායලයට පහර දී ඇති අතර දෙවැනි ප්‍රහාරය ද ළඟදීම නිකුත්වීමට ඉඩ තිබේ. ඊශ්‍රායලයේ පැත්ත ගෙන සිටින නේටෝ සංවිධානයේ රටවල් ඉරානය කෙරෙහි මහත් අප්‍රසාදයකින් පසුවෙයි. ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක ද පනවා තිබේ. එසේම ඉරානය සමග ගනුදෙනු කරන රටවලට ද ඇමරිකාව විසින් සම්බාධක පනවනු ලැබේ. ඉරානය සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන එකම ආසියාතික රට පාකිස්තානයයි. ඉරානය සහ පාකිස්තානය යන රටවල් දෙකම මතවාදී වශයෙන් බටහිර ලෝකයට විරුද්ධ ය. මේ රටවල් දෙකම ඉස්ලාම් රටවල් ය. පාකිස්තානය සමග තිබෙන කිට්ටු සම්බන්ධය නිසා ඉරාන ජනාධිපති ලංකාවට එන්නේ ඒ රටේ දෙදිනක් ගතකිරීමෙන් පසුවය. ඉරාන ජනාධිපතිට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් දේශපාලන තීන්දුව සුවිශේෂ වන්නේ ලෝකයේ බොහෝ රටවල් මේ මොහොතේදී ඉරාන ජනාධිපතිට නිල සංචාර සඳහා ආරාධනා කරනවා තබා ඒ රට දිහාවත් බැලීමෙන් වැළකී සිටින නිසාය. වැඩි දෙනා කල්පනා කරන්නේ ඉරානය සමග ගනුදෙනු කළොත් තමන් ඇමරිකානු සම්බාධකවලට යටත් වනු ඇතැයි කියාය.

ඉරානය උමා ඔය ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් පොරොන්දු විය. එහෙත් අපට ලබාගත හැකි වූයේ එයින් ඩොලර් මිලියන 50ක් පමණි. ඒ මුදල මෙහේ බැංකු ගිණුම්වලට එනවාත් සමගම ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත්කරන ලද අතර අපට ඉතිරි ඩොලර් මිලියන 400 ලබාගැනීමට බැරි විය. ඒ සඳහා මුදල් සපයා ගන්නා ලද්දේ දේශීය වශයෙනි. එසේ තිබියදීත් ජනාධිපති වික්‍රමසිංහ ඉරාන ජනාධිපතිට මෙරට සංචාරය කිරීම සඳහා ආරාධනා කිරීමෙන් වෙනම රාජ්‍යතාන්ත්‍රික පැතිකඩක් නිර්මාණය වී ඇත. ඉරාන ජනාධිපති ලංකාවේ කළ සංචාරය ජාත්‍යන්තර වශයෙන් බැලනස් විය. ඒ මෙසේය. ඉරාන ජනාධිපති මෙහි සිටින අතර ශ්‍රී ලංකාවේ නැඟෙනහිර මුහුදේ ඇමරිකන් – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක් පැවැත්විණ. ඒ අතර ඊශ්‍රායලය ගුවන් යානයක් ද කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. ආණ්ඩුව මේ සියලුම තත්ත්වයන් කළමනාකරණය කරන ලද්දේ ඉතා සාමාන්‍ය පරිදි ය. වැඩි දෙනා නොදන්නවාට, 30 අවුරුදු යුද සමයේදී ඉරානය පාකිස්තානය හරහා ලංකාවට බොහෝ ආධාර කළේය. මේ නිසා එම රටට කවර හෝ අවස්ථාවක කෘතගුණ සැලකිය යුතු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කෘතගුණ සැලකීමේ අවස්ථාව යොදා ගන්නා ලද්දේ ඉරානය ලෝක දේශපාලනයේ දරුණුම අවස්ථාවක් පසුකරමින් සිටියදීය. එම දේශපාලන තීන්දුව සුවිශේෂ වන්නේ එබැවිනි.

advertistmentadvertistment
advertistmentadvertistment