නිවන අපට ගොඩක් දුරද?

544

බෞද්ධ දර්ශනය තුළ උගන්වනු ලබන ප්‍රධානම ඉගැන්වීම වනුයේ නිවන හෙවත් නිර්වාණයයි. එකී නිර්වාණය පසක් කර ගැනීම උදෙසා බොහෝ කරුණු කාරණා සම්පූර්ණ කළ යුතුය. එහිදී තණ්හාව දුරුකර ගැනීම මූලික වේ. සසර සත්ත්වයා බැඳ තබන මෙකී අකුසල කර්මයන් නිසා කොතරම් දුරට දුකට හෙළන්නේ ද යන්න මනාව පැහැදිළිවේ. මේ නිසා බුදුන් වහන්සේ වදාළ නිර්වාණගාමී මග නිසි අවබෝධයෙන් ගමන් කළ යුතු අතර නොමැති නම් සිදුවන්නේ සසර අතරමං වීම පමණකි.

“ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්නාදාසෝ” යන බුද්ධ දේශනාවට අනුව තණ්හාවට දාසයෙක් වූ පුද්ගලයාට කොතරම් වස්තු සම්පත් තිබුණ ද ඒවායින් සතුටක් නොලබන බව දක්වා ඇත. මෙකී කරුණු අනුව විමසා බැලීමේදී බෞද්ධ රටක් වුවත් අපේ රටේ මිනිසුන් කොතරම් පින් දහම් කරමින් බණ අසමින් ක්‍රියාකරනු ලැබුවද නිසි අවබෝධයකින් තොරවීම නිසා සමාජයේ බොහෝ අංශ අන්ත පරිහානියකට ලක්වී ඇති බව මැනවින් දැකිය හැකිය. මෙකී පරිහානිය සඳහා මූලිකම සාධකය වනුයේ මිනිසා තුළ ඇතිවන අතෘෂ්කර ආශාවන්ය. ඒවා සඵල කර ගැනීමට යෑමේදී හොඳ නරක පිළිබඳ නොසිතා ක්‍රියාකිරීමට පෙළඹීම තුළ සිදු වන්නේ විනාශයම පමණි. එකී විනාශය කෙබඳු ද යන්න නූතන සමාජය දෙස බැලීමෙන් ඉතා කදිමට සනාථ වනු ඇත. විශේෂයෙන් මිනිස් ජීවිතයක වටිනාකම පවා නොදන්නා තරමට පිරිහී ඇති පුද්ගලයා තණ්හාවට වහල් වීමෙහි ප්‍රතිඵලයක් ලෙස කොතරම් ප්‍රාණ ඝාතනය සිදු කරන්නේද යන්න අමුතුවෙන් කිව යුත්තේ නොවේ. බොරුව, වංචාව, දූෂණය රජවී ඇති කාලසමයක ලබාගත් උතුම් මිනිසත් බව බෙහෙවින් පරිහානියට පත්වීම කනගාටුවට කරුණකි. අපේ රටේ තරම් බණ අසන, දන් දෙන නොයෙක් පින් කරන රටක් නොමැති තරම්ය.

බෞද්ධ දර්ශනය තුළින් ලබාගත යුතු ඵලය කිසි විටෙක ජීවිත තුළට ලබා නොගන්නා බහුතර පිරිසක් ධර්ම දේශනා, පිරිත් දේශනා ආදී විවිධ පිංකම් සිදු කරනු ලබන්නේ චාරිත්‍රයක් වශයෙන් පමණි. ඒ බව බොහෝ නිවෙස් තුළ පැවැත්වෙන පිංකම් දෙස බැලීමෙන් මනාව සනාථ වනු ඇත. තමන් කරන පිනට වඩා අවසානයෙහි පව් කන්දරාවක් කර ගසා ගන්නා ඔවුන් සසර අතරමංවීම කෙසේවත් වැළැක්විය නොහැක්කකි. අතීතයෙහි බෞද්ධ ජනතාව බණ ගෙදරකට ගියේ ධර්ම දේශකයන් වහන්සේ වැඩම වීමටත් පෙරය. නිසි අධ්‍යාපනයක් නොලැබුවත් ඔවුන් අධ්‍යාත්මිකව පෝෂණය වී තිබූ අතර හැමවිටම ක්‍රියා කරනු ලැබුවේ ධර්මයට අනුකූලවය. එහෙත් අද වන විට බණ ගෙදරකට බොහෝ දෙනා ඒකාරාශීවන්නේ ධර්ම දේශනාව අවසන්කොට භික්ෂූන් වහන්සේ වැඩම කිරීමෙන් පසුය. ඉන්පසු කාබී විවිධ දුරාචාර සිදුකොට පිංකම් ගෙදර පව් ගොඩක් බවට පත්කර ගනිති. මෙය අද සමාජයෙහි බොහෝ නිවෙස් තුළ සිදුවන්නකි. මුදල් වැයකොට පව් කර ගන්නා අපේ මිනිසුන් සසර ගමන කොතරම් බියකරු දැයි තවමත් අවබෝධ කරගෙන නොමැත.

“අප්පමාදො අමතපදං – පමාදො මච්චුනො පදං” ප්‍රමාද නොවීම හෙවත් අප්‍රමාදීවීම නිවනට මඟ බවත් ප්‍රමාදවීම මළවුන් මෙන් බව බුදුන් වහන්සේ ධම්මපදයේ අප්පමාද වග්ගයේදී දේශනාකොට ඇත.

මෙවැනි දේශනා පාඨ තුළින් අපට පෙන්වා දෙන්නේ සසර ස්වභාවයයි. මෙය ගිහි පැවිදි අප සැවොම මනාව අවබෝධ කර ගත යුතුය. නොමැති නම් බොහෝ දුක් කරදරවලට මුහුණපෑමට සිදුවන අතර ඒ සඳහා තෘෂ්ණාව මූලිකම අකුසලය වනු ඇත. සසර බැඳ තබන සත්ත්වයා දුකට හෙළන ලාමක අකුසල කර්මයන්ගෙන් බැහැරව මෙම දුක්ඛිත සසර ගමනින් එතෙරවීම උදෙසා බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දෙන නිසි දහම් මගට එළැඹ අවබෝධය ඇති කර ගනිමින් බුද්ධිමත් බෞද්ධයන් සේ ක්‍රියා කිරීම අප සැමගේම පරම යුතුකමකි. එය “නිබ්බාණංපරමං සුඛං” යන බුද්ධ දේශනාවට අනුව පරම සුවය වූ නිවනට හේතු වන්නකි.

දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment