බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගැන දැනුවත් වෙමු

2986

ග්‍රහලොව විශාලතම ග්‍රහයා වන උප ග්‍රහයින් 11 කින් යුතු ග්‍රහයෙකි බ්‍රහස්පති ග්‍රහයා. පුරුෂ ග්‍රහයෙකු වූ බ්‍රහස්පති ග්‍රහ පවුලේ පුරෝහිතයා වන අතර “සෞභාග්‍යාධිපති” නම්ද වේ. පඨවි හා සාත්වික ගුණයෙන් පෝෂිත සෞම්‍ය ගුණයෙන් යුතු උභය ග්‍රහයෙක් වන ගුරු පෘථිවියට තරමක් ඈතින් පිහිටයි. තාරකා ග්‍රහයෙකු ලෙස සැලකෙන ගුරු මන්ත්‍රී, සාම්පතී, සුරගුරු, අංගිර, අභි, ආචාර්ය, අංගීරස, අජ, සුර, අප්රා, වද නිසුරු, අංගාරා, සුරමන්ත්‍රි, වාචංපති, චන්ද්‍රාය, ඊජය, ප්‍රශාන්ත, ජීව, දේවගුරු, සුරපූජිතඃ, අමරෙජය, ඊඩපම්, ත්‍රිදිවේෂ, සුරැජර, වේෂු, ජෛවින්, පය්‍යායම්, බඹගුරු, සුරේජ්ජා ආදී ලෙස පරියාය පද රැසකින් හඳුන්වනු ලබයි. ශුභ ග්‍රහයෙකු වන මෙන්ම පුත්‍ර කාරකයා ලෙස ද හඳුන්වන ගුරු ජන්මපත්‍රයක 2 වැන්නට, 5 වැන්නට, 9 වැන්නට මෙන්ම 11 වැන්නට ද කාරක වේ. ඒ සම්බන්ධව භාව කාරකයන් සම්බන්ධ ස්ලෝකයේ මෙසේ දැක් වේ.

“සූර්යෝ ගුරුඃ කුජඃ සෝමෝ
ගුරුර් භෞමො භෘගුඃ ශනි
ගුරුර් චන්ද්‍ර සුතෝ ජීවෝ
මන්දාශ්ව භාව කාරකඃ

උක්ත ස්ලෝකයට අනුව ඒ ඒ භාවවලට කාරක ග්‍රහයින් භාව අනුපිළිවෙළින් කියැවේ. ලග්නයට දග්බල වන ගුරු ජන්මපත්‍රයක ආයුස්ථානයක් වන 3 වැන්නට අශුභය. ඒ බව ස්ලෝකයක මෙසේ දැක්වේ.

“චන්ද්‍රාෂ්ඨ මංච ධරනී සූත සප්තමංච
රාහුර් නවංච ශනි ජන්ම ගුරුර් තෘතියේ
අර්ගේසු පංච භෘගු ෂස්ඨ බුධං චතුර්තේ
මානාර්ථ හානි මරණානි භයානි කූරියා

සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහයා ඕනෑම ජන්මියෙකුගේ අධ්‍යාත්මිකත්වය මෙන්ම යුක්තිගරුක බව මොනවට විදාහාපාන අතර අධ්‍යාපනයට, නීතියට, දර්ශනයට මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදියට ද මූලික වේ. එසේම ගුරු ශරීරයේ මේදය සම්බන්ධව ද, දරු මුනුබුරන් හා සීයා සම්බන්ධව ද, පුද්ගල කීර්තිය සම්බන්ධව ද, ආශ්‍රයට ලැබෙන උගතුන්, ප්‍රභූන් සම්බන්ධව ද අධිපති වේ. යම් ආකාරයකින් ගුරු දුර්වල ජන්මපත්‍ර හිමියන් බොහෝ විට පිත් ආබාධ, දියවැඩිය, අධික ස්ථුලතාව, උණ, සෙංගමාලය, අක්‍ෂිරෝග හා ලිංගාශ්‍රිත රෝග වලින් පීඩා විඳී.

සතියේ දින 7 අතුරින් බ්‍රහස්පතින්දාට අධිපතීත්වය දරන ගුරු ග්‍රහයා ගුරු හෝරාවටත් ගුරු පංචම හා සූක්‍ෂම හෝරා ආදියටත් අධිපතීත්වය දරයි. ලග්නයට දග්බල වන ගුරු ජන්මපත්‍රයක ලග්නගත වීම තුළද තත්කාල කේන්දරයක ලග්නගත වීම තුළ ද කෝටියක් දෝෂ භංග වේ. ගුරු කටක රාශියේ 50 දී පරම උච්ච වන අතර මකර රාශියේ 50 දී පරම නීච වේ. තව ද ගුරු ධනු හා මීන යන උභය රාශි දෙකට ස්වක්‍ෂ්ත්‍ර වේ. එසේ ගුරු තමා සිටින තැනින් දෘෂ්ටිමය වශයෙන් 5 වැන්න, 7 වැන්න, 9 වැන්න දකී. ඒ බව ස්ලෝකයක මෙසේ කියැ වේ.

“ත්‍රී දස රවි ශනි චන්ද්‍රෝ
කුජ බුධ චතුර් අෂ්ඨකං
ගුරු ශුක්‍ර නව පංච
සප්තමං සර්වේ සාද්‍ර”

තවද අට දිශාව අතුරින් මරු නැති එකම දිශාව වන ඊසාන දිශාව ගුරුට අයිතිය. කෙසේ වෙතත් යම් ජන්මියෙකුගේ ගුරු ග්‍රහයා ප්‍රබල වූ කල එකී ප්‍රභලත්වය යම් පමණ වැඩිකරනු සඳහා 450 ක වර්තන අංකයක් ලැබෙන සේ කපන ලද කැරට් දෙකකට වැඩි පළුදු නැති පුෂ්පරාග මැණිකක් රත්‍රං මුදුවකට අල්ලා ශරීරයේ ස්පර්ෂ වන සේ පැළඳී සිදු කරයි. එහෙත් මෙම ක්‍රමවේදය ගුරුකුල අනුව ඇතැම් විට වෙනස් වේ. ඒ දුබලයා තවත් දුබල කරනු වස් දුබලයාගේ සතුරු ග්‍රහයන් බලවත් කිරීම ආදී ලෙසය.

ජීව ග්‍රහයෙකු වන ගුරු විෂ්ණු ස්ථාන වන කේන්ද්‍ර ස්ථාන තුළ උච්ච, ස්වක්ෂේත්‍ර වන කල ගුරු හංස නමැති පංච මහා පුරුෂ යෝග උදා වේ. මෙම යෝගය, ශුභ ධන යෝගයක් වන අතර මෙහි ඵල උපරිමව ලැබීමට නම් එම ගුරු වක්‍ර නොවී රවිට 110 ට වඩා ලංව අස්ථ නොවී ග්‍රහ යුද්ධ ආදියෙන් නොපැරදී පංච මහා පුරුෂ යෝග භංගවන ග්‍රහ පිහිටීම් වන ශනි ගුරු සංයෝගය, ශනි විසින් ගුරු දැකීම, ගුරු කේතු සංයෝගය හා මෙකී ගුරු තවත් ග්‍රහයෙකු හා සංයෝග වීම ආදී කරුණු වලින් ද එසේම ගුරු නිදනාම්ශ ගතවීම් අෂ්ඨ මාංශ ගතවීම් මෙන්ම ඛර නවාංශකාධිපති මෙන්ම ඛර දෙර්කාණාධිපති හෙවත් 22 වන දෙර්කාණාධිපති වීමෙන්ද 64 නවාංශකාධිපති සේම බාධක ග්‍රහයා වීමෙන්ද ආදී මෙකී නොකී කරුණු වලින් තොරව අශුභ පාපී දෘෂ්ටි සංයෝග ආදියෙන් තොරව නිර්මලව බලවත්ව සිටිය යුතුය. ගුරු ජිද්‍ර ග්‍රහයෙකු නොවිය යුතුය.

ගුරු ග්‍රහයා රවි චන්ද්‍ර හා සිකුරු යන ග්‍රහයන්ට වඩා අඩු නෛසර්ගික බලයකින් යුතු අතර ශනි, කුජ හා බුධ යන ග්‍රහයන්ට වඩා වැඩි නෛසර්ගික බලයකින් යුතුය. එසේම රවි, චන්ද්‍ර, කුජ, නැප්චූන්, ප්ලූටෝ හා කේතුට නෛසර්ගිව මිතුරු වන ගුරු ශනි යුරේනස් හා රාහුට නෛසර්ගිකව සමවන අතර බුධ හා සිකුරුට නෛසර්ගිකව සතුරු වේ. එහිදී සිකුරුගේ නෛසර්ගික සතුරු බව “ගුරු ශුක්‍ර සදා වෛරං” යන කියමනෙන් තව තවත් මනාව තහවුරු වේ. කෙසේ වෙතත් ජන්ම පත්‍රයක ගුරු අනියම් පෝෂක ග්‍රහයා වනවාට වඩා පෝෂක ග්‍රහයා වීම ද විම්ශෝපාක බලය තුළින් ගුරු ග්‍රහයා ඉහළ ප්‍රතිශතයක් හිමි කර ගැනීම ද ඉහළ ශුභ ඵල උදාකරන කරුණුය. තවද මෙම ගුරු කර්ම පාලන ග්‍රහයෙකු වීම ද ජන්මියාට ශුභඵල දායකය. එසේම ගුරු සෙසු ග්‍රහයන්ට තත්කාලීනව මිතුරු වීම ද ජන්මියාට බෙහෙවින් වාසි සහගතය. එපමණක් නොව ගුරු චිත්තාංශක ග්‍රහයා වීම ද ඉතා වටී.

ග්‍රහ ගෝචරය අතින් බලන කල ගුරු වසරක් රාශියක ගත කරයි. ඒ එක් සූර්ය දිනයකදී ගුරු කලා 5 ක් පමණ ඉතා සුළු දුරක් ගමන් කරන බැවිනි. විංශෝත්තරී දශා ශේෂය සලකන කල ගුරු ග්‍රහයාට හිමි කාලසීමාව වසර 16 කි. ගුරුගේ යෝග කාරකත්වය සලකන කල මේෂයට ගුරු යෝගකාරක වන අතර කටකයට හා වෘශ්චිකයට අර්ධ යෝග කාරක තත්ත්වයක් උසුලයි.

තවද ගෝචරයේදී උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා කෙරෙන් 1,4,10 ස්ථානයක ගුරු ගෝචරය වීම කර්ම ගුරු අපලය ජන්මියාට උදා කිරීමකි. මෙය එක්තරා ආකාරයක ඒරාෂ්ඨක අපලයකි. වසරක කාලයක් පවතින මෙම අපලය මගහරිනු වස් හෝ දැඩි බව සමහන් කරණු වස් කළයුතු වත්පිළිවෙත් කිහිපයකි. ඒ මෙසේය.

ගුරුට හිමි වෘක්‍ෂය වන බෝගසට පූජා පැවැත්වීම සහ සෙවණේ සිටීම.

ගුරුගේ වර්ණය වන කහපැහැ මල් පූජාව
කහපැහැ වස්ත්‍ර දන්දීම

සාමාන්‍යයෙන් ගුරු ග්‍රහයා යම් ජන්මියෙකුගේ ජන්මපත්‍රයේ ඛර දෙර්කානාධිපති හෙවත් 22 වන දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, ඛර නවාංශකාධිපති වන කල ගුරුට හිමි මහ දශා අන්තර් දශා වල මාරක අපලකාරී තත්ත්ව ඇතිවිය හැකි බැවින් ඉහත සඳහන් ගුරුට අදාළ වත්පිළිවෙත් භක්තියෙන් සිදුකර අපලයේ දැඩි බව සමහන් කර ගැනීම ඥානාන්විතය. එසේම ගුරු බාධාක ග්‍රහයා වන කල එම බාධක තත්ත්වය සමහන් කරුණු වස්ද උක්ත වත්පිළිවෙත් මහෝපකාරීය. එපමණක් නොව පුනාවස, විසා හා පුවපුටුප ගුරු හිමි නැකැත් වන අතර ගුරු ග්‍රහයා අවට 60 ක ප්‍රමාණයක රශ්මිය පවතී. ගුරුට මිනිස් සිරුරේ උකුල ප්‍රදේශය අයත් වේ. ශඩ්විද බලය අතින් කාල බලය සැලකූ කල ගුරු දිවා කාලයට මෙන්ම පුර පක්‍ෂයට කාල බලය අතින් බලවත්ය.

තවද තාරා ග්‍රහයෙකු වන ගුරු වෙනස්වන වෘද්ධ ග්‍රහයෙකි. එම ගුරු මිථුන, කන්‍යා යන උභය රාශි ද්විත්වයට බාධක ග්‍රහයා වන අතර ගුරු ආත්මකාරක ග්‍රහයාවීමද ශුභය. එසේම පාලන හා ඉෂ්ට දේවතාවන් දේවතාවියන් සෙවීමේදී ගුරුට බ්‍රහ්ම හා සරස්වතී දේවිය හිමිය. එපමණක් නොව යමෙකුගේ බුද්ධි මට්ටම පෙන්වන පාක ලග්නය හෙවත් ලග්නාධිපතියා සිටින රාශියට කාරකයා ද ගුරුම වේ.

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගැන දැනුවත් වෙමු

ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment