ග්‍රහයන්ගේ උච්ච වීම සහ නීච වීම බලපාන හැටි

2005

ග්‍රහයකු උච්චවීම යනු එම ග්‍රහයා බලයේ උපරිමයට පත්වීමයි. නීචවීම යනු බලයේ අවම අවස්ථාවට පත්වීමයි. ග්‍රහයකු නීච වීම තම කලදසාව ඉතා නරක්වීම යැයි සමාජයේ වැරදි මතයක් පවතී. සෑම ග්‍රහයකුම නීච වූ විට අශුභ ඵල නොදේ. සමහර ග්‍රහයින් ගෙන් පමණක් අශුභ ඵල ඇතිවේ. එහෙත් සියලුම ග්‍රහයින් උච්ච වීමෙන් ශුභඵල උදාවේ.

ග්‍රහයකුගේ වැඩිම බලවත්කමේ සිට අඩුම බලවත්කම දක්වා බැලූ විට පහත දැක්වෙන අයුරින් දැක්විය හැකිය. උච්ච හෙවත් වැඩිම බලවත්කම යනු බොහෝ ශුභඵල ඇති කරන තත්ත්වයට පත්වීමයි. දෙවනුව ස්වක්‍ෂේත්‍ර තත්තවයට පත්වීමයි. මෙහිදී උච්ච අවස්ථාවට අඩුවෙන් ශුභඵල ලැබේ. ඊළඟ අවස්ථාව සම සහ මිත්‍ර අවස්ථාවයි. එවැනි ග්‍රහයින්ගෙන් සාමාන්‍ය වශයෙන් ශුභඵල ලැබෙන අතර අවසන් අවස්ථාව නීච අවස්ථාවයි. නීච ග්‍රහයා අශුභ ඵල උදාකළත් ඒ හැම ග්‍රහයෙකුම නොවේ. සමහර නීච ග්‍රහයන් ගෙන් බොහෝ ශුභ ඵල ලැබේ. මේ සාමාන්‍ය ජනයාට තේරුම් කරන ආකාරයයි.

උච්ච වීමත් නීච වීමත් ග්‍රහයකුගේ බලවත් කමේ අන්ත දෙකයි. එක් එක් ග්‍රහයා ගේ එම අවස්ථා දෙක වෙන වෙනම ගෙන බලමු. පළමුව රවි ග්‍රහයාගේ උච්ච අවස්ථාව ගනිමු. රවිගේ උච්ච වීම ඉගෙනීමට හා දියුණුවට ඉතා හිතකර වේ. රවි උච්ච වූ අයගේ තේජවන්ත පෙනීමක් ඇත. ඔවුහු කිසි කෙනෙකුට හිස නැමීමට කැමැති නැත. තමාට අවශ්‍ය ඉහළින් වැජබී සිටීමටයි. බොහෝ සැප සම්පත් ලැබේ. නායකත්වයට පත්වේ. විශේෂයෙන් දහයේ රවි උච්ච වීමෙන් බුධත් බලවත් නම් ඔහුට පහසුවෙන් වෛiවරයකු විය හැකිය. රවි උච්ච වීම ඉතා හොඳ වුවත් අඹු සැමි දෙදෙනාගේම හඳහන්වල රවි උච්චවීම හොඳ නැත. ඒ දෙදෙනා ගෙන් එක් අයකුවත් යටත්වීමට කැමැති නැති නිසා දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවන බැවිනි. දෙදෙනාගේම රවි උච්චවීම සාමකාමී ජීවිතයකට නම් හොඳ නැත. එවැනි අවස්ථාවලදී දෙදෙනාම තම තත්ත්වය තේරුම් ගෙන ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කළ යුතුය. රවි උච්ච වන්නේ මේෂ රාශියේදීය.

රවි නීච වීමද බොහෝ ශුභඵල ලැබීමට හේතුවේ. ඕනෑම අවුරුද්දක ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා උපදින අයගේ රවි නීචය. රවි නීච වන්නේ තුලා රාශියේ සිටින විටය. රවි නීච අය සහජයෙන්ම නිරහංකාරය. කාගෙත් සිත් දිනා ගනිති. කුමන රැකියාව කළත් එහි ඉහළට යති. උසස්ම තත්තවයට පත්වෙති. රවි නීචව ඉපදුණු අය අතර ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක මහතා අගමැතිවරයකුව සිටි විජයානන්ද දහනායක මහතා, අග්‍රාණ්ඩුකාරවරයකු වූ සර් ඔලිවර් ගුණතිලක මහතා, තානාපතිවරුන් වූ ආර්. එස්. එස්. ගුණවර්ධන මහතා සහ ගුණපාල මලලසේකර මහතා ද වෙති. මෙයින් පෙනෙන්නේ සියලු දෙනාම නැතත් රවි නීච වූ අය ඉහළ තනතුරුවලට යන බවයි.

චන්ද්‍රයා උච්ච වීම ස්ත්‍රීන්ටත් නීච වීම පිරිමින්ටත් හොඳය. චන්ද්‍රයා උච්ච වීම පිරිමින්ටත් හොඳය. චන්ද්‍රයා උච්ච වන්නේ වෘෂභ රාශියේදීය. චන්ද්‍රයා උච්ච වීම පෙර පිනටම සිදුවන දෙයකි. ඔවුහු මතු ආත්මය සඳහා ද පින් කරති. චන්ද්‍රයා උච්ච වන ස්ත්‍රීන් රූමත්ය. ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්ත ය. ඉඩකඩම් හා ගෙවල් දොරවල් අයිති වේ. ස්ත්‍රියකට මෙය වටිනාම පිහිටීමකි.

චන්ද්‍රයා නීච වීමෙන් ස්ත්‍රියකගේ ස්ත්‍රී ගතිගුණ අඩු වේ. කටහඬ ද මිහිරි නොවේ. ගමන බිමන හා වැඩකටයුතු ද පිරිමියකු ගේ මෙනි. පිරිමින්ට නම් මෙම පිහිටීම යහපත් වේ. චන්ද්‍රයා නීච වූ අය ධනයෙන්, බලයෙන් හා ඉගෙනීමෙන් දියුණුවේ. සෑම විටම තම මෙලොව දියුණුව පතා ගෙන කටයුතු කරති. ඒ නිසාම උපන් තත්ත්වයට වඩා බොහෝ දියුණු වේ. වචනයෙහි එක්තරා වේගයක් තිබේ. චන්ද්‍රයා නීච වී උපන් බොහෝ දෙනෙක් දියුණුවේ ඉහළට ගොස් ඇත. උදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායන මහතා, වී. ඒ. සුගතදාස මහතා, නිකුලස් ආටිගල මහතා.

කුජ උච්ච වන්නේ මකර රාශියේදීය. කුජ උච්ච වූ අය නොයෙක් ශිල්පයන්හි දක්‍ෂයෝ වෙති. යමක් දැකීමෙන් පමණක් කිරීමට සමත් වෙති. ආඩම්බර ය. බුද්ධිමත්ය.

කුජ නීච වීමද දියුණුවට හේතු වේ. රැකියාවේ ඉහළට යා හැකිවේ. විදේශ ගමන් යෙදේ. ආඩම්බර නැත. බොහෝ දෙනාගේ ආධාර උපකාර ලැබේ. කුජ නීච වන්නේ කටක රාශියේදීය.

බුධ උච්ච වීම ඉගෙනීමෙන් ඉහළටම යා හැකි පිහිටීමකි. ඔවුන්ට සමාජයේ ඉහළින්ම වැජඹීමට අවස්ථාව උදාවේ. යම් කිසි හේතුවක් නිසා ඉගෙනීමේ අවස්ථාව ගිලිහී ගියොත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතකු ගේ ගති ඉරියව් පෙන්නුම් කරයි. බුධ උච්ච වන්නේ කන්‍යා රාශියේදීය.

බුධ නීච වීම පිළිබඳ ජ්‍යොතිෂවේදීන් මත දෙකක් දරන බව පෙනේ. මෙම පිහිටීම ඥානවත්ත වීමටත් ඥානවන්ත නොවීමටත් හේතුවන බව කියති. බුධ නීච වූ අය සමාජයේ ඉහළ තනතුරු දරන අවස්ථා එමට ඇත. හොඳම නිදසුන දෙවන එළිසබෙත් රැජණයි. ඇයගේ හඳහනේ බුධ නීචය. ඇය තම රටේ පමණක් නොව ලෝකයේම පිළිගත් ඥානවන්ත කාන්තාවකි. බුධ නීච වන්නේ මීන රාශියේදීය.

ගුරු උච්ච වන්නේ කටක රාශියේදීය. ගුරු උච්ච වීම ආත්මයෙන්ද, ශරීරයෙන්ද, ගතිගුණ වලින්ද, පෙනුමෙන්ද උසස්වීමට හේතුවේ. මහත්මා ගති ආරක්‍ෂා කර ගැනීමට හැකිවේ. කරුණාවන්තය. ඥානවන්තය. සංවර පැවැත්මෙන් යුක්තය. උපන් තත්ත්වයට වඩා බොහෝ උසස් වේ.

ගුරු නීච වීමද දියුණුවට හේතුවේ. මධ්‍යම වයස වනවිට ගුරු නීච අය උසස් තත්ත්වයට පත්වෙති. මුදල්, ඉඩකඩම් හා ගෙවල් දොරවල් හිමිවේ. ගුරු නීච වීම දරු ඵල අහිමි වීමට බොහෝ විට හේතුවේ. එහෙත් ගුරු මහදශාව පසු වී කාලයක් ගතවීමෙන් පසු කලාතුරකින් කෙනෙකුට දරුඵල හිමිවිය හැකිය. ගුරු නීච වන්නේ මකර රාශියේදීය.

සිකුරු උච්ච වීම රූප ශෝභාව ඇතිවීමට හේතු වේ. සම පැහැපත් වේ. ගතිගුණ ඉතා යහපත් වේ. කරුණාවන්ත වේ. සිකුරු උච්ච වූ අයකු දෙස බොහෝ දෙනා ඕනෑකමින් බලති. එක් වරක් නොව දෙතුන් වරක් බැලීමට සිත් පහළ වන්නේ සිකුරු උච්ච වීම නිසාය. මෙය ධනවත්වීමේ පිහිටීමකි. සිකුරු උච්ච වීම ස්ත්‍රීන්ට වඩාත් හොඳය. පිරිමින්ට ද යහපත් පිහිටීමකි. සිකුරු උච්ච වන්නේ මීන රාශියේදීය.

සිකුරු නීච වීම ධනවත් වීමට හේතු වුවත් විවාහ ජීවිතයට හොඳ මදි පිහිටීමකි. බොහෝ විට එසේ වන්නේ විවාහ ගැළපීම හරියට නොවුණු අවස්ථාවලදීය. නොගැළපෙන අයකු හා විවාහ වුණොත් සිකුරු නීච අයගේ ජීවිතය අඳුරු වන බව සමාජයෙන් ද නිදසුන් ගත හැකිය. සිකුරු නීච අයකු සිකුරු බලවත් අයකු හා එක් වුණත් ටික කලකින් එම විවාහය දෙදරා යනු ඇත. බොහෝ විට එම විවාහය දික්කසාදයකින් අවසන් වේ. සිකුරු නීච අය විවාහයට දක්වන ඇල්ම අඩුය. විවාහය කල්යෑමට ද මෙය හේතුවේ. සිකුරු නීච වන්නේ කන්‍යා රාශියේදීය.

ශනි පාපී ග්‍රහයෙකි. සාමාන්‍ය ශනි තමා සිටින ස්ථානයට අයිති දේ නැති කරයි. විනාශ කරයි. එහෙත් උච්ච ශනි එයට ප්‍රතිවිරුද්ධ දේ කරයි. සැප සම්පත් ලබාදී ධනවත් අයකු කරයි. ශනිට එක රාශියක් පසු කිරීමට අවු.02 1/2ක් ගතවේ. තුලා රාශියේදී උච්ච වන ශනි එම රාශිය පසු කිරීමට ගතවන අවුරුදු දෙක හමාරේ කාලය ඉතා වාසනාවන්ත වේ. තමා සිටුවන ගස්වල බොහෝ ඵල දරයි. රැකියාවෙන්, ව්‍යාපාරවලින් බොහෝ ධනයක් ලැබේ. කරන කටයුතු සාර්ථක වේ. තුලාව පසුකර නැවැත තුලාවට පැමිණීමට අවු.27 1/2ක් ගතවේ. රාශි දොළහම පසු කිරීමට ශනිට අවු.30ක් ගතවේ.

ශනි නීච වීම බලවත් ධන යෝගයකි. ධනු ලග්නයෙන් උපන් අයට ශනි පහේ නීච වීම ලොකු ධන යෝගයකි. මොවුන් ඉගෙනීමෙන් දියුණු වන බවක් නොපෙනේ.

රාහු හා කේතු උච්ච වීම හොඳය. යහපත් ප්‍රතිඵල උදාකරයි. උසස් අයකු වීමට උදව් කරයි. රාහු උසස් වීමට උදව් කරයි. රාහු උච්ච වන්නේ වෘෂභ රාශියේදීය. කේතු උච්ච වන්නේ වෘශ්චික රාශියේදීය.

රාහු නීච වීම හොඳ නැත. නීච රාහු හතේදී හා නවයේදී විවාහය අහිමි කරයි. 3,6,11 ස්ථන රාහුට හොඳ නිසා ඒ ස්ථානවල දී බරපතළ පාඩු ඇති නොකරයි. කේතු නීච වීම සෑම අවස්ථාවකදීම නරකය. අශුභ ඵල උදාකරයි. ශුභ ඵල උදා නොකරයි. රාහු නීච වන්නේ වෘශ්චික රාශියේදීය. කේතු නීච වන්නේ වෘෂභ රාශියේදීය.

එඩී කරුණාතිලක,
විශ්‍රාමලත් විදුහල්පති,
සාම විනිසුරු,
38/20, වීරක්කොඩි මාවත,
මහරගම.
ටෙලි.0717004360

advertistmentadvertistment
advertistmentadvertistment