විවාහ ප්‍රමාදයට බයද?

131

“මගේ අක්කා ඒ කාලේ හැටියට එයාගෙම කේන්දර බලවා ගත්තා. එයා විවාහ වෙනවා කියූ ඔක්කොම කාලය පසුවුණා. අක්කට ඒ කාල සීමාවේදී කොච්චරවත් යෝජනා නම් ගලා ආවා. නමුත් ඒවා එකකවත් හරි නම් ගියේ නෑ. ඉවසන්න බැරිම තැන අක්කා එයාගේ කේන්දරේ පුච්චලා දැම්මා. දැන් එයාට කේනදරයක් නෑ. එයා විවාහ වෙන්නෙත් නැතිලු. මට මේ ගැන හරියට හිතට දුකයි.”

එක්තරා නැඟණියක් තම අක්කා ගැන මා සමග පැවසූ විස්තරයයි ඒ. මම ඇයට කරුණු පැහැදිලි කර දී ඇයගේ සොහොයුරියගේ උපන් වේලාව ගෙන්වාගෙන අලුතෙන් කේන්දරයක් සෑදුවා. පළමුව ඇයගේ ග්‍රහචාරය බලා ස්ථිරවම ඇයට විවාහයක් සිදුවේද? නැතිනම් සදාකාලිකවම අවිවාහක සිටී ද? යනුවෙන් බැලීමි. ඇයට ස්ථිවරම විවාහයක් සිදුවෙන බව එකී කේන්දරය අනුව මා තීරණය කර ගතිමි. ඊට පසු එම විවාහය සිදුවනුයේ කවදද? සහකරු කොයි විදිහේ අයෙක්ද? ඔහුගේ රැකියාව කුමක්ද? ගේ දොර ස්වරූපය කෙසේද? පවුලේ තත්ත්වය කුමක්ද? ධනය හා ඉගෙනීම කොබඳුද? ආදී සෑම තොරතුරක්ම පරීක්‍ෂණයට හා නිරීක්‍ෂණයට ලක් කළෙමි. ඇය ඉපදී ඇත්තේ කන්‍යා ලග්නයෙන් හා කටක නවාංශකයෙන්. එම කේන්දරයට අනුව බෙරණ නැකතේ සිව්වන පාදය හිමිවූ අතර උපතේ සිට ඉදිරියට වර්ෂ 2 මාස 5 දින 29ක් සිකුරු මහදසාව පැවතුණි. කන්‍යා ලග්නයේ ග්‍රහචාරය මෙසේ විය. දෙවැන්නේ රවි බුධ හා කේතු ද තුන් වැන්නේ කුජ ද හතරවැන්නේ ගුරු ද අටවැන්නේ රාහු හා සඳු ද දොළොස්වැන්නේ සෙනසුරු හා සිකුරු සිටියේය. කන්‍යා ලග්නෙන් හා කටක නවාංශකයෙන් උපන් බැවින් විසිදෙවන දෙර්කණාධිපති වනුයේ ගරු ග්‍රහයාය. ගුරු සිවු වැන්නාධිපති යාවි විසි දෙවැනි දෙර්කාණාධිපතියා වූ අතර, හත්වැන්න අධිපතියා ද වී සිවු වැන්නේ ස්වක්‍ෂේත්‍ර බලයෙන් සිටී. ශනි හා සිකුරු දොළොස් වැනි වැය ස්ථානයේය. අටවැන්නේ රාහු හා සඳුය. අට අධිපති කුජ තුන්වැන්නේය. දෙවැන්නාධිපතියා හා දොළොස් වැන්න අධිපතියා අතර පරිවර්තන යෝගයකි. හත අධිපතියා හතර අධිපතියා ද වීමෙන් විසිදෙවන දෙර්කාණාධිපතියා ද වී ඇත. මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන ඇයගේ යුග දිවිය පිළිබඳව පරීක්‍ෂා කළ යුත්තේය.

මෙහි ග්‍රහචාරය නිවැරදි දැයි තේරුම් ගැනීමට අතීත සිදුවීම් කිහිපයක් හා පොදු තොරතුරු සමහරක් විමසීමි. තත් ග්‍රහචාරයට අනුව ඇයගේ පියා ඇය බාල කාලයේදීම මිය යා යුතුයි. ඇයත් සමග සහෝදර සහෝදරියන් පස්දෙනෙක් සිටිය යුතු අතර, මවගේ පළමු විවාහයට අයත් වනුයේ ඇය හා තවත් එක් අයෙකි. ඒ අය සහෝදරියක් විය යුතුය. ඇය ළඟටම බාල සහෝදරියක් ඉපදීමට හේතු යෙදී ඇත්තේ තුන් වැන්නේ සිටින කුජ සහෝදරයෙක්ගේ ඉපදීමට බාධා කරන බැවිනි. මවගේ දෙවෙනි විවාහයෙන් තවත් සහෝදර සහෝදරියන් එසේ නම් තිදෙනෙක් සිටිය යුතුයි. මා මෙවැනි නිගමනයකට එළැඹියේ 9 අධිපති සිකුරු දොළොස් වැන්නේ, සෙනසුරු සමග සිටීමෙන් පියාට මාරක අපල උදාකරන බැවිනි. දශා විදශා අනුව පියා ඇය කුඩා කාලයේ දීම මිය යා යුතුය. සිව්වැන්නේ ගුරු විසිදෙවන දෙර්කාණාධිපතියා වී සිටීමත් මාතෘ කාරක සඳු අටවැන්නේ රාහු සමග සිටීමත් හේතුකොටගෙනය. මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත් දෙවෙනි විවාහයෙන් දරුවන් තිදෙනකු සිටින බවත් තීරණය කළෙමි.

මෙම කරුණු සියල්ල නිවැරදි බව ඇය පිළිගත් අතර ඇගේ අක්කගේ පුද්ගලික තොරතුරු රැසක් ද පැහැදිලි කරදී ඇගේ අක්කාගේ විවාහ ජීවිතය පිළිබඳවත් සහකරුගේ තොරතුරුත් විස්තර කර දුනි. මෙම ග්‍රහචාරයට අනුව ස්ථිරවම විවාහයක් සිදුවෙන බවත්, සහකරු උත්සව අවස්ථාවකදී හෝ වන්දනා ගමනක දී මුණගැසෙන බවත්, ඔහු ඇයගේ නිවසටම පැමිණ ඔහු විසින්ම විවාහ යෝජනාවක්ම ඉදිරිපත් කර නොබෝ දිනකින්ම විවාහය සිදුවන බවත්, 2019 සැප්තැම්බර් මාසයේ දිනක දී විවාහය සිදුවන බවත් පැවසීමි.

ඔවුහු කෙබඳු අයෙක් දැයි ඇසූ ප්‍රශ්නයට අනුව ඔහුගේ සියලු විස්තර ද පැවැසීමි. හත්වැන්නේ කවර හෝ ග්‍රහයෙක් සිටී නම් හත්වැන්න මුල්කොටගෙන තොරතුරු පරීක්‍ෂා කළ යුතුය. මේ අනුව ඔහු සිහින් සිරුරක් ඇති කඩවසම් පෙනුමෙන් යුත් අයෙකි. ඔහු උසස් ගතිගුණවලින් යුක්ත ය. දත් විකෘති වී තිබිය යුතුය. උසස් අධ්‍යාපනයක්ද ලබාදීමට ද හේතුයි. මුදල් ඉපයීමේ මාර්ග කීපයක් ඇති නමුත් ස්ථිර රැකියාවක් ලැබෙනුයේ විවාහයෙන් පසුවය. ඔහුගේ දෙමාපියන් තරමක් දියුණුවී ඇති අය නමුත් සියලු ඥාතීන්ගෙන් ඈත්ව ජීවත් වන්නේ හෝ ඥාතීන් කෙරේ කිසිදු සැලකිල්ලක් හෝ නොදක්වන්නෙක් විය යුතයි. ඔහුගේ පියා වෛද්‍යවරයෙක් හෝ ප්‍රදේශයේ ප්‍රභූවරයෙක් හෝ වීමට පුළුවන. ඔහුගේ සියලු සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අටදෙනක් විය යුතු අතර ජීවතුන් අතර ඇත්තේ ඔහුත් සමග පස්දෙනෙකි. අධ්‍යාපනය තරමට සුදුසු රැකියාවක් ලැබී නැත. රැකියාව ලැබීමට පෙර විවාහය සිදුවනු ඇත. ඔහු අවංක අයෙකි.

මෙම විස්තර සටහන් කරගෙන ගොස් ඇගේ අක්කාට භාර දෙන ලදී. පසු කලෙක දෙදෙනාම පැමිණ කීවේ ගිය වෙසක් පෝයට කැලණි විහාරය වැඳීමට ගිය වෙලාවේ, තරුණ හාදයෙක් අක්කා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කතා කළ බවත් නිවස දැනගෙන ගෙදරට ම පැමිණ විවාහ යෝජනා කළ බවත්ය. එය සුදුසු යැයි ද කියා දැන ගැනීමට පැමිණි බවත්ය. පසුව ඔහුගේ කේන්දර ගෙන්වාගෙන තොරතුරු පරීක්‍ෂා කිරීමේදී පෙනී ගියේ ස්ථිරවම මේ දෙදෙනා අතර විවාහය සිදුවන බවය. පසුව එය එසේම සිදුවිය. ඊළඟ වසරේ දී විවාහ ගිවිස ගැනීම එසේම සිදුවිය.

මෙම ක්‍රමය දැනගෙන සිටීම, අවිවාහක තරුණ තරුණියන්ට ඉතාම ප්‍රයෝජනවත්ය. ස්ථිරවම තමාගේ විවාහය සිදුවන කාලයත්, සහකරුගේ හෝ සහකාරියගේ සියලු විස්තරත් දැනගත හැකිය. දෙමවුපියන්ට මෙය ප්‍රයෝජනවත් වනුයේ, මඟුල් කපුවන්ට හෝ අතරමැදියන්ට, නුසුදුසු කාලයේ වියදම් නොකර නියම විවාහය සිදුවෙන කාලයත්, නියම අයත් තේරුම් ගෙන ක්‍රියාකිරීමට හැකි වන නිසාය. තවද විවාහය සිදුකිරීමට බාධා කරන ග්‍රහ අපල තත්ත්වයක් ඇත්නම්, අවශ්‍ය ශාන්තිකර්ම කරගෙන සූදානම් වීම සඳහාය. පෙම්වතුන්ට හෝ පෙම්වතියන්ට තමාගේ දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය වනුයේ දැනට යාළු වී සිටින ඔය මදැයි, නැතිනම් මෙම සම්බන්ධය අතරමග නතර වෙන එකක්දැයි ආදී වශයෙන් තොරතුරු පරීක්‍ෂා කර දැන ගැනීමට හැකිය.

කේන්දරයේ නව වැනි භාවය ජන්මියාගේ භාග්‍ය ස්ථානයයි. යමෙකුගේ ආගම ධර්මය විවිධ ඇදහිලි, ගුණ ගරුක බව, වැඩිහිටියන්ට සැලකීම පියාගේ හා පිය පාර්ශ්වයේ ඥාතීන් පිළිබඳවද තොරතුරු පරීක්‍ෂා කළ යුත්තේ නවවෙනි ස්ථානයේදීය. එසේම ජන්මියාගේ උසස් අධයාපනය ගැන ද විස්තර ද නව වැන්නෙන් බැලිය යුතුය.

පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සහෝදර සහෝදරියන් පිළිබඳ තත්ත්වය දැන ගැනීමට තම කේන්දරයේ නවවෙනි ස්ථානය පරීක්‍ෂා කර බලා, නව වැන්නාධිපතියා බලවත්ව සුබ ස්ථානයන්හි සිටීමෙන් පෙම්වතාගේ හෝ පෙම්වතියගේ යහපත් සැලකිය යුතු සහෝදර සහෝදරියන් සිටින බවත් තමාට මෙන්ම තම ස්වාමියාට හෝ භාර්යාවට ඒ අයගෙන් උදව් උපකාර ලැබෙන බවත් තේරුම් ගත යුතුය. ඇයගේ හෝ ඔහුගේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව දැන ගැනීමට ද නව වැන්නේ සිට පරීක්‍ෂා කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ වික්‍රමය, කාර්මික විද්‍යා ඥානය ආදී තොරතුරු ගැන බලන්නේ නව වැන්නේය.

ජයකොඩි ජ්‍යොතිෂ සේවය
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ජේ. ඒ. එස්. සහන් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment