වාස්තු දෝෂ නැතිවෙන්න නිවැරදිව තාප්පය බඳින හැටි

162

‘හප්පේ බලන්න එපැයි එහා ගෙදර උන් මාළිගාව වටවෙන්න ගහන තාප්පේ’
‘ඔවුන්ට සල්ලිවලට කරන්න දෙයක් නැතිව බං’
‘දැන් හතර පැත්තෙන්ම වහගෙන ඕනෑ ජවුසමක් නටන්න ඇහැකි නේ බං’

මේ ඉඩමක තම නිවාසය වටකර ඉදිවෙන තාප්පය ගැන කරන කතා බහක්. නගරාශ්‍රීතව මේවා සුලබ වුවද ගම්වල තියෙන ගෙයකට තාප්පයක් දමන්න සූදානම් වීමේදී ඉහත කතා අසන්නට ලැබේ. මෙයට ශත වර්ෂයකට එපිට අතීතය ගැන කතා කළහොත් එදා නිවාසවලට වැට මායිම් කඩුලු වැඩිපුර නොතිබුණි. තිබුණා නම් නගරාශ්‍රීත නිවාසවලයි. ගම්වල ඉඩම් සුලභ විය. නිවාස බොහෝම ඈත්ව පිහිටා තිබුණි. අක්කර ගණන් පැවති මහගෙදර ඉඩම පවුලේ දරුවන්ට කොටස්කර දුන්නාය. ඉන්පසු පරම්පරාව මෙය තමන්ගේ දරුවන්ට කොටස්කර දුන්නාය. වර්තමානය වන විට ග්‍රාමීය ඉඩම් ද කොටස් පර්චස්වලට බෙදුනි. නිවාස එකිනෙකට ළං ළංව ඉදිකෙරේ. සෑම දිශාවන්ටම මාවත්ය. හොරු, කුඩ්ඩෝ, මංකොල්ලකරුවන් සෑම තැනකමය. එම නිසා අද වනවිට නිවසට තාප්පයක් අත්‍යවශ්‍යයි. එය භූමියේ පිහිටා ඇති ඵල දරන බෝග ආරක්‍ෂා වේ. සොර සතුරන්ගෙන් ආරක්‍ෂා වේ. සෑම දිශාවන්ටම මාර්ග පවතින නිසා ඒවායේ ගමන්කරන වාහන පවනට බඳු වේගයෙන් ගමන් කරන්නේ පාර අයිනේ මිනිසුන් ද යටකර ගනිමින්ය. නිවාසවල සිටින කුඩා දරුවන් දැනුම් තේරුම් නැතිව ඉවක් බවක් නැතිව නිවසින් පාරට දිවයයි. මෙවැනි කරුණු කාරණා නිසා නිවසකට තාප්පයක් දැමිය යුතුය. නමුත් මෙම තාප්පය දැමීම තුළින් ඔබගේ නිවසේ වාස්තු දෝෂ ඉවත්කර ගැනීමට හැකියාවක් නොදැනීම ලැබෙනු ඇත. එසේනම් යාබද නිවෙස්වලින් තාප්පයක් නොතිබීමෙන් ඇතිවෙන වාස්තු දෝෂ මොනවාද යන්න බලමු.

● කූප කෝණ දෝෂ

වාස්තු විද්‍යාවේදී කූපයක් යන්නෙහි අදහස නම් පොළව හාරා කනිනු ලබන වළක් යන්නයි. ළිඳට කියන නමක් වශයෙන් කූපය හඳුන්වයි. යම්කිසි නිවසක පිහිටි ළිඳ යාබදව පිහිටි නිවසේ මුල්ලට වැටිම, ප්‍රධාන දොරට කෙළින් පැවතීම, මුදුන් යටලීයට සෘජුව පැවතීම නිසා ධනය විනාශ වීම, ලෙඩ රෝග, හදිසි අනතුරු, නිවසේ අසමගිකම් ඇතිවීමට බලපායි. තාප්පයක් ඉදිකර ඇති නිවෙස්වල මෙවැනි ගැටලු මතු නොවේ. එය භූමියෙන්ම සීමාවී බාහිර දෝෂ ඉවත්වන නිසාය. මේ ආකාරයට යාබද නිවසේ වැසිකිළිවළ එය පවතින නිවසේ බටහිරට වී පැවතිය හැක. නමුත් එම නිවසට පසුපස යාබද නිවසේ ඊශාන, උතුර, දිශාවලට හසුවිය හැක. මෙය නිවාස ඈත්ව පිහිටියේ නම් ලොකු ගැටලු නොමැත. නමුත් කුඩා ඉඩම් කොටස්වල තාප්පයක් නොමැති වූ විට ඉදිරිපස නිවසට දෝෂ නොවන මෙම වැසිකිළිවළ පසුපස පිහිටි යාබද නිවසට දෝෂ කැන්දයි.

● මුළු කෝණ වේද දෝෂය

යාබද නිවසේ බිත්තියක මුල්ල අපගේ නිවසේ ප්‍රධාන ද්වාරයට සෘජුව පිහිටීම වේද දෝෂයක් වන අතර එම නිවසේ බිත්ති මුල්ල අපගේ නිවසේ බිත්තියට කෝණ ගතව පිහිටීම මුළු කෝණ වේද දෝෂයයි. මේ නිසා මේ පීඩාවට පත්වන නිවැසියන්ට සතුරු පීඩා, ධන හානිය, රෝග පීඩා ඇති වේ. එම තත්ත්වයන්ට ඇති එකම විසඳුම තම නිවස වටා තාප්පයක් ඉදිකිරීමයි.

● දුක් වේද දෝෂය

අප වාසය කරන කුඩා බිමක් සහිතව පිහිටි භූමියේ ඉදිකර තිබෙන නිවසේ ප්‍රධාන ද්වාරය යාබද පිහිටි නිවසේ ද්වාරයත් සමග සෘජුව මුහුණෙන් මුහුණ බලා සිටින අයුරින් පිහිටා තිබීම නිසා එම නිවසේ පවතින සියලුම අශුභ ශක්තීන් අප නිවසට ඇදී ඒ. එය ඉතා භයානකයි. හදිසි අනතුරු, ලෙඩදුක්, ආර්ථික පීඩා පමණක් නොව මරණය පවා ඇතිකරන දෝෂයයි. මෙයින් ආරක්‍ෂාවීමට නම් නිවාස දෙක එකිනෙකට නොපෙනෙන පරිදි තාප්පයක් දැමීමය.

● ජිද්‍රවේද දෝෂය

කොපි කිරීමට උපන්දා සිට අප දක්‍ෂය. එය ආරම්භ වන්නේ බාලාංශ පන්තියේ සිටයි. යාබද නිවසට සමානව වෙනස් කර අප අපේ නිවස කොපිකර හෝ ඉදි කරයි. සමහර විට යාබද නිවසේ නිවාස සැලසුම ඉල්ලගෙන හෝ ඒක සමාන අයුරින් දිගින් පළලින් යාබද නිවසට සමාන්තර ඉදිකළොත් එය අශුභ වේ. එය අශුභ වන්නේ තාප්පයක් නිවාස දෙක අතර නොතිබුණ හොත්ය. එවැනි තාප්ප දමා සීමා නොකර තිබීම තුළින් එම නිවසේ ඇති කරන සතා සිව්පාවන්ද මරණයට පත් වේ. අශුභ ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වේ.

● අග්‍රවේද දෝෂය

තමන් ජීවත්වන නිවසේ බිත්තියට සමානව අල්ලපු ගෙදර නිවසේ බිත්තිය එක එල්ලේ පිහිටා තිබීම අග්‍රවේද දෝෂයයි. මෙහිදී සමහරු සිතාවි ගොඩක් උසට පිහිටි බිත්තියක දෝෂය ඉවත්වීමට යාබද නිවසේ බිත්තියේ උසටම තාප්පය දැමිය යුතුද කියා. නැත. එම උසට අවශ්‍ය නොවේ. නමුත් තමන්ගේ නිවස පිහිටි භූමියේ බිම සීමාවීමට නම් තමන්ගේ මායිමේ තාප්පයක් පොළවට අත්තිවාරම සහිතව දැමිය යුතුය. එසේ නොවුණහොත් දෝෂයට ලක්වන නිවාසයහි කලකෝලාහල, සාමය කඩවීම, නිතර ගැටුම්, රණ්ඩු සරුවල් ඇතිවීම මෙම අග්‍රවේද දෝෂය තුළින් ඇති වේ.

● සෘජුවේද දෝෂය

තමන්ගේ යාබද පිහිටි නිවාසවල ආර්ථික ශක්තිය අනුව ඔවුන් නිවාස ඉදිකරයි. අද වර්තමානයේ බිම් කොටස් පර්. 3-4 දක්වා කොටස් කර අලෙවි කෙරේ. මෙම බිම් කොටස්වල එක් පැත්තකින් විශාල නිවසක්ද, අනෙක් පැත්තේ කුඩා නිවසක් ද ඉදිකර ඇතැයි සිතන්න. එවිට ඔබේ නිවස එම නිවාස දෙක මධ්‍යයේ තිබුණා නම් ඔබගේ නිවස සෘජුවේද දෝෂයට ලක්වේ. එවැනි දෝෂයට ලක්වුණ නිවසේ ජීවත්වීම නිතර බිය ජනක සිදුවීම්වලට හේතු දේ. නිවස තුළ ජීවත්වීමට සිදුවන්නේද බියෙනි. මෙයට එකම විසඳුම වන්නේ දෙපස මායිම් දෙක තාප්පයකින් ආවරණය කර ගැනීම පමණි.

● භූමි වේද දෝෂය

තමා ජීවත්වන භූමියේ නිවසත් යාබද පිහිටි නිවසේ භූමියත් අතර කුඩා භූමි ප්‍රදේශය යම්කිසි භූගෝලීය හෝ දේශගුණික විපර්යාසයට ලක්ව පහත්වී ඇති නම් හෝ කිඳා බැස්මට ලක්ව ඇත්නම් එය භූමිවේද දෝෂය යනුවෙන් හැඳින් වේ. මෙවැනි ස්ථානයක වාසය කිරීම නිසා ව්‍යාපාරිකයෙක් නම් ඔහුගේ ව්‍යාපාර පවා කඩා වැටීමට බංකොළොත්වීමට හේතු වේ. විශාල ධන හානි ඇති වේ. මෙය හුදෙක් බලපාන්නේ උතුරු හා නැගෙනහිර දිශාව ගිලා බැසීමෙනි. මෙවැනි තත්ත්වයකදී කළ හැකි එකම විසඳුම බැම්මක් දමා පස් පුරවා තාප්පයක් ඉදිකර ගැනීමයි.

● වෘක්‍ෂවේද දෝෂ

ළඟ ළඟ පිහිටි නිවාස දෙකක් අතර යාබද නිවසේ පිහිටි වෘක්‍ෂය ඔබේ නිවසේ ප්‍රධාන ද්වාරයට එක එල්ලේ පිහිටීම නිසා වෘක්‍ෂ වේද තත්ත්වයක් හට ගනී. එය ඔබට ඔබේ ගෙදර නිවැසියන්ට බාධා පීඩා දියුණුව මදකම, රණ්ඩු සරුවල්වලට පවා හේතු දේ. මෙම දෝෂ තත්ත්වය සඳහා තාප්පයක් ඉදිකර වෘක්‍ෂ දෝෂයෙන් ප්‍රධාන ද්වාරය නිදහස් කර ගැනීම උදෙසා එකම පිළිවෙළ එයට තාප්පයක් දමා ගැනීමයි.

මෙම නිවසක පිටතින් පැමිණෙන දෝෂයන් ආරක්‍ෂා කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය එම ස්ථානය ආවරණය වන ආකාරයට තාප්පයක් දමා ගැනීම හොඳම ප්‍රතිකර්මය වුවද තාප්පයක් දමන ආකාරය හා ගන්නා අමුද්‍රව්‍ය මත එම තාප්පයෙන් ලැබෙන ගුණ අඩු වැඩි වනු ඇත.

තාප්පයක් දැමීමේදී නවීන ක්‍රමයට කොන්ක්‍රීට් තාප්පය කොටස් වශයෙන් සවිකරනු ලබයි. මෙහිදී කණු සිටුවා කොන්ක්‍රීට් ලෑලි ඒ මත අසුරයි. මෙම තාප්පය දැමීමෙන් සිවිල් ආරක්‍ෂාව තහවුරු වුණද වාස්තු දෝෂ ඉවත්වීමට නම් භූමියේ මායිමේ අඩි 1 1/2 ක් ගැඹුරට අත්තිවාරම දැමිය යුතුයි. නැතිනම් භූමිය සීමා නොවනු ඇත. ඒ ආකාරයට අත්තිවාරමක් දමා තහඩුවලින් හෝ ආවරණය කර ගැනීමට හැකි නම් ඒ තුළින් නියම ප්‍රතිඵල ලබාගත හැකිය. කෙසේ වුවද නිවසකට නිසි ආකාරයෙන් තාප්පය දමා ගැනීම තුළින් පෙනෙන නොපෙනෙන සියලු වාස්තු විද්‍යාත්මක දෝෂවලින් බේරීමේ හැකියාව පවතී.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.

0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment