දෙතැනක පස් කඳු කඩා වැටී සිව් දෙනෙක් මරුට

69

රක්වානේ වතු කම්කරුවෝ දෙදෙනෙක්

රක්වාන මාදම්පේ රාම කෝරළය බෝක්කුව අසළ වතු සමාගමකට අයත් ඉඩමක අනවසර මැණික් පතලක් කපමින් සිටි සිව්දෙනෙකු හදිසියේ පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එයට යටවී දෙදෙනෙකු මරුමුවට පත්වූ බව රක්වාන පොලිසිය පවසයි.

17 වනදා මධ්‍යම රාත්‍රි 12 ට පමණ මැණික් පතලයේ පස් කපමින් සිටියදී උඩ තිබූ පස් කණ්ඩියේ කොටසක් එකවරම කඩා වැටුණු බව ජීවිතය බේරුණු පතල්කරුවන් දෙදෙනා ප්‍රකාශ කළ බව රක්වාන පොලිසිය පවසයි. කහවත්ත වතු සමාගමට අයත් මාදම්පේ වත්තේ අංක එක කොටසේ රුපියල් කෝටි ගණනින් මැණික් ලැබුණු ස්ථානයක මෙම පුද්ගලයින් අනවසර මැණික් පතලක් කැපීමට ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මාදම්පේ වතුයායේ අංක එක කොටසේ පදිංචි සෝලමුත්තු සෙල්වකුමාර් (48) පස් දරු පියා සුබ්‍රමනියම් ත්‍යාගරාජා (45) විවාහක අයෙකු මැණික් පතලයට යටවී මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මාදම්පේ වත්ත අංක 01 කොටස මෙම අනවසර පතලය කලක සිට පවත්වාගෙන ගොස් තිබේ. එම ස්ථානයේ එක දිගට මැණික් පතල් වළවල් දක්නට තිබේ.

පෙරේදා කඩා වැටුණු මැණික් පතලය සිදුකර ඇත්තේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නොමැතිව නිසා අනතුර සිදුවි ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. පස් කණ්ඩියක් කඩා වැටීමෙන් යටවූ දෙදෙනා ගොඩගෙන රෝහල් ගත කිරීමට පැය භාගයකට වැඩි කාලයක් ගතවී තිබේ. ඔවුන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. පෙරේදා 17 වනදා කහවත්ත මූලික රෝහලේ දී පශ්වාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. රක්වාන පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
කහවත්ත සමරවීර නිරෝෂණ

නුවරඑළියේ මාමයි බෑණයි

දෙතැනක පස් කඳු කඩා වැටී සිව් දෙනෙක් මරුට

නුවරඑළිය නගරය ආසන්නයේ පැරණි කච්චේරිය අසල පිහිටි නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් (16දා) කඩා වැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි කේ. නිලන්ත (43) මාමණ්ඩි සහ පී.එම්.සී. රුක්ෂාන් (23) බෑණා යන දෙදෙනා බව පොලිසිය කියා සිටියේය.

පස් කන්දට යට වී සිටි දෙදෙනා ප්‍රදේශවාසීන් සහ නුවරඑළිය පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේදීත් දෙදෙනා ජිවිතක්ෂයට පත් වී සිටි බව එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේය.

මෙම කොන්ක්‍රීට් තාප්පය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණ හෝ ක්‍රමවේදයන් භාවිතා කර නොමැතිව තාප්පය ඉදි කිරිම සඳහා අත්තිවාරම කපා ඇති බවට අනතුර සම්බන්ධයෙන් විමර්ෂනය සිදුකළ නුවරඑළිය පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන ඇත.

ජීවිතක්ෂයට පත් මාමා සහ බෑණාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුරු ඥාතීන් වෙත භාර දෙන බව නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.
නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment