ලබන 26 සිට ඖෂධ මිල පහළ දමනවා – පාඩුව සැපයුම්කරුවන් දැරිය යුතුයි

152

ෆාමසි හිමියෝ කියති

රජය විසින් ඖෂධ මිල අඩු කිරීමට ගත් තීරණයට අනුව ජුනි 26 වැනිදා සිට එය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගංකන්ද මහතා පැවසීය. දැනටමත් ඖෂධ සැපයුම්කරුවන් අධික ලාභයක් ලබන බව ද ඒ මහතා කියා සිටියේය.

ඖෂධ මිල ජුනි 16 සිට අඩු කිරීමට තීරණය කළත් සෞඛ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡා කර එය ජුනි 26 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට එකඟතාවකට පැමිණි බවත් ඉන්පසු ඖෂධ හල් හිමියන්ට සිදුවන පාඩුව ඖෂධ සැපයුම්කරුවන් දැරිය යුතු බව තම සංගමය ඔවුන්ට දැනුම් දුන් බවත් ගංකන්ද මහතා කීය.

ඖෂධ මිල අඩු කිරීමේ පාඩුව තමන්ට දැරිය නොහැකි බව පැවසූ ඒ මහතා ඩොලරයේ මිල වැඩිවන විට සැපයුම්කරුවන් ගබඩාවලට පැමිණ ගබඩාවල තිබූ ඖෂධවල පවා මිල ඉහළ දමමින් සකස් කළ බව ද කියා සිටියේය.

ඖෂධ මිල සියයට 30 කින් අඩු කළ යුතු බව තමා රජයෙන් ඉල්ලා සිටි බවත් දිවයින පුරා පවතින පෞද්ගලික ඖෂධ හල්වලින් සියයට 98 ක් තම සංගමය නියෝජනය කරන බවත් පැවසූ චන්දන ගන්කන්ද මහතා 27 වැනිදා සිට තමන් ලබන පාඩුව ඖෂධ සැපයුම්කරුවන් භාර නොගන්නේ නම් එම පාඩුවන මිල ඔවුන්ට මුදල් ගෙවීමේදී අඩුකර ලබාදෙන බව ද පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment