තාත්තාගේ ගමන මම යනවා – සමීරා හසන්

180

ටෝනි හසන්ගේ දුව මුල්වරට කතා කරයි
මගේ සංගීත දිවියේ ගුරුවරයා වුණේ තාත්තා

ඔහු සිංහල ගී ගැයුවාද යන්න පවා රසිකයන්ට අමතක වූවා සේ ය. ඒ ඔහු ගැයූ හින්දි ගීත ඒ තරමටම ජනප්‍රිය වීම නිසා ය. එදා ලලිත් එස්. මෛත්‍රීපාල සහ කරුණාරත්න අබේසේකරයන්ගේ ආරාධනයෙන් කොම්පක්‍ඳ්ක්‍ඳවීදියේදී කුළුඳුල් වේදිකාවට නැගි ටෝනි හසන්ගේ මියුරු හඬ පසුගිය දා නිහඬ විය. ලංකාවේ ප්‍රසංග වේදිකාවේ නොමැකෙන ඒ හින්දි ගී හඬ නිහඬ නොවන්නට නොදී ඔහුගේ දියණිය සමීරා හසන් කරළියට එන්නට සූදානම්…

තාත්තාගේ ගමන මම යනවා - සමීරා හසන්

කවුද මේ සමීරා හසන් කියන්නෙ?

ලංකාවේ ප්‍රසංග වේදිකාවේ මුලින්ම හින්දි ගීත ගායනා කළේ මගේ තාත්තා වන ටෝනි හසන්. මම ඔහුගේ දියණිය සමීරා හසන්.

පවුලේ විස්තර කොහොමද?

මට තව මල්ලි කෙනෙක් ඉන්නව. ඔහුත් තාත්තාගේ ගීත ගායනා කරනව.

තාත්තාගේ ගමන මම යනවා - සමීරා හසන්

ටෝනි හසන් වඩාත් ජනප්‍රිය වුණේ 70 – 80 දශකවල?

තාත්තා මුලින්ම සංගීත දිවිය පටන්ගන්නෙ 1962 අවුරුද්දේදී. ගොඩක්ම හිට් වුණේ 70 – 80 දශකවල.

තාත්තාගේ වියෝව ඔබට බොහෝ සෙයින් දැනෙන්න ඇති?

ඔව්” ඒක ගොඩක් අමාරු අවස්ථාවක්. මම හැම වෙලාවෙම වගේ හිටියෙ තාත්තත් එක්ක. ඔහු මගේ ජීවිතයේ වටිනාම කෙනෙක්. මම හැම වෙලාවේම කළේ ඔහු කියල දුන්න දේ. ඇත්තටම කිව්වොත් තාත්තා තමයි මගේ සංගීත දිවියේ ගුරුවරයා වෙන්නෙ. මම ලබාගත්තු සම්මාන වලට හේතුව වුණෙත් මගේ තාත්තාමයි.

සමීරාගේ ගමන ගැන විස්තර ටිකක් කියමු?

මම පාසල් ගියේ බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයට. සංගීත ක්‍ෂේත්‍රයට එන්නෙ වයස අවුරුදු එකොළහේදී. මුලින්ම ගීතයක් කිව්වෙ අයිටීඑන් නාළිකාවෙ මධුරසාංග සංගීත වැඩසටහනට. ඒකට මගේ තාත්තත් එකතු වුණා. හවා හවා කියන හින්දි ගීතය තමයි ගායනා කළේ.

තාත්තාගේ ගමන මම යනවා - සමීරා හසන්

එතැනින් පස්සෙ?

එතැනින් පස්සෙ මම දිගටම සංගීතය පැත්තට යොමු වුණා. මගේම දමිළ ගීතයකට ඉන්දියාවෙන් සම්මාන පහක් හිමි වුණා. ඒ ගීතයට මගේ තාත්තාත් ගොඩක්ම කැමතියි. අපි මුලින්ම මේ ගීතය කළේ ඇල්බම් එකකට. ඉන් පස්සෙ කෙටි චිත්‍රපටයකට යොදා ගත්තා. මේ ගීතයට 2013 වසරේ පැවැත්වුණ ජාතික සම්මාන උළෙලේදී හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගන්නට මට හැකියාව ලැබෙනව.

තාත්තාට වැඩිපුර හිටියෙ සිංහල රසික රසිකාවියො?

ඔව්” ඇත්තටම කිව්වොත් තාත්තාට වැඩිපුරම හිටියෙ සිංහල රසිකයො. තාත්තා ක්‍ෂේත්‍රයට එන කාලෙ හින්දි ගීත ගායනා කරන්න වෙන කවුරුවත් හිටියෙ නැහැ. තාත්තත් බොහොම අමාරුවෙන් තමයි මේ හින්දි ගීත ගායනා කරන්න ඉගෙනගෙන තියෙන්නෙ. අපේ අම්මා පාකිස්තානු ජාතික කාන්තාවක්. ඇයගේ භාෂා හුරුව නිසා නිවැරදි වචන උච්චාරණයක් ඇතිව හින්දි ගීත ගායනා කරන්න මගේ තාත්තාට අවස්ථාව ලැබුණා.

සමීරා ප්‍රසංගවලට සහභාගි වෙනවද?

ප්‍රසංගවලට ආරාධනා නම් ලැබෙනව. නමුත් මේ දිනවල ඒවාට සහභාගි වෙන්න තරම් මානසික මට්ටමක නෙමෙයි මම ඉන්නෙ.

කොහොම වුණත් ඉදිරියේදී මගේ මල්ලි ශ්‍යාම් හසන්වත් එකතුකරගෙන තාත්තගෙ ගමන මම යනව. දවසක අපි දෙන්නම ස්ටේජ් එකට එනව. ඒක තමයි තාත්තගෙ ආසාව වුණේ.

මීට කලින් එක වතාවක් අතුරුගිරියේදී පැවැත්වුණ ප්‍රසංගයකදී අපිට ඒක කරන්න හැකියාව ලැබුණ. ඒ වීඩියෝ ගෙනත් තාත්තට පෙන්නුවා.

මල්ලිත් එක්ක වැඩක් කරන්න සැලසුමක් තියෙනවද?

ඔව්” ඉදිරියේදී මල්ලිත් එක්ක එකතුවෙලා කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. එතනදි තාත්තා සිංහල සිනමාව වෙනුවෙන් ගායනා කළ ගීත” සාමාන්‍ය ගීත” ඉස්ලාමීය ගීත” දමිළ ගීත වගේම හජ් ගීත වගේම තවත් විශේෂිත ගීත කිහිපයක් එකතුකරගෙන තමයි මේ ප්‍රසංගය කරන්න අදහස් කරන්නෙ.

තාත්තාගේ ගීතවලින් ඔබ වඩාත් කැමති ගීත?

තාත්තාගේ බොහෝ ගීතවලට මම කැමතියි. ඒ අතරින් විශේෂ ගීත කිහිපයක් තියෙනව. දෙමවුපියන් දරුවන්ට කියන ගීත” අපේ අම්මාට කියපු ගීත කිහිපයක් වගේම මල්ලිට කියපු ගීතයක් සහ තවත් ගීත කිහිපයක් තියෙනව.

තාත්තාත් එක්ක සහභාගි වුණ ප්‍රසංගවලට දැබුණ ප්‍රතිචාර මොන වගේද?

අවුරුද්දක් පාසා අපි සහභාගි වුණ ප්‍රසංග තිබුණා. ගොඩක් වෙලාවට අපි මුදල් පසුපසම ගියේ නැහැ. තාත්තා මට කිව්වෙ අපි සල්ලිම විතරක් හම්බකරල වැඩක් නෑ පුතේ” මිනිස්සුන්ගෙ ආදරයයි වටින්නෙ කියල. ඒ වචනවල සැබෑ තත්ත්වය තාත්තා නැති වුණ වෙලාවෙ මම දැක්ක.

විදෙස් සංචාර?

මේ දවස්වල ඩුබායි සහ යූරෝප් රටවල ප්‍රසංගවලට ආරාධනා ලැබිල තියෙනව. ඒ වගේම දේශීය වශයෙනුත් ආරාධනා රැසක් ලැබිල තියෙනව.

සංවිධායකවරු මොකද කියන්නෙ?

සංවිධායකවරු දැන් මට කියන්නෙ ඔයා ඉදිරියේදී තාත්තාගේ සිංහල ගීත කියල පෙන්නන්න කියල. ඒකට හේතුව වෙන්නෙ ඉස්සර ප්‍රසංග වලට ගියාම මට සිංහල ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment