භාව දොළහයි ග්‍රහයො නවයයි

213

දෙවන භාවය හඳුනා ගනිමු 02

ධනය පවුල් ජීවිතය බිරිඳගේ තත්ත්වය පුරුෂයන්ගේ දකුණු ඇස ස්ත්‍රීන්ගේ වම් ඇස බෙල්ල උගුර දෙවැන්නෙන් දෘශ්‍යමානවේ. මරණය සිදුවන ආකාරය පරීක්‍ෂා කළ යුත්තේ ද දෙවැන්නෙනි. සුබ දෘෂ්ටි ලැබූ සුබයකු සිට දෙවැන්නාධිපතියා ද බලයෙන් යුතු නම් එවැන්නාට ධනය අධ්‍යාපනය චතුර කථිකත්වය මෙන්ම කවීත්වය ද උරුම වේ.

දෙවැන්නාධිපති පාප දෘෂ්ටි ආදියෙන් දුර්වලවී දෙවැන්නේ සිටීනම් ඉහත සඵලතා අඩුවී අපල ඇති කරයි. විසි දෙවැනි දෙකර්ණාධිපතියා දෙවැන්නේ සිටීම ද බලවත් දෝෂයකි. ර- කු- ශ- රා-කේ වැනි පාපයන් දෙවැන්නේ සිටීනම් මුහුණේ රෞද්‍ර පෙනුමක් ඇතිවේ. දත් රෝග ඇති කරයි. සිකුරු දුර්වල නම් ඇස් රෝග ඇතිවේ. පස්වැන්නාධිපතියා දෙවැන්නේ දුර්වලවූවිට මෙන්ම ගුරු එහි දුර්වල නම් බිහිරි දරුවන් උපදී.

රවි – දෙවැන්න මේෂ හෝ සිංහ වී දහවල් කාලයේ උපත ලබා බලවත් වූවිට රාජ පාක්ෂිකයකු වේ. රාජ්‍ය සේවයේ යෙදී ධනය උපයයි. මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරීන්, ගණකාධිකාරීන්, බැංකුකරුවන් උපදී.

දෙවැන්නේ රවි දුර්වලව තැන්පත් නම් ඇස් රෝග ගින්නෙන්, වස විස මගින්, හානි ඇතිවේ. ඇසිඩ් ප්‍රහාරය ලබා මුහුණ විකෘති වන්නේ ද මෙවැන්නන්ගේය. පියාගේ දේපළ නොලැබීම ඒවා පිළිබඳ නඩු මඟට බැසීමට සිදුවීම, නපුරු වචන කථා කරන ක්‍රෝධයෙන් පිපිරෙමින් සිටින, රතුපාට ඇස් ඇතිව මෙවැනි අය උපත ලබයි.

චන්ද්‍ර – රාත්‍රියේ උපත ලබා පුර පක්ෂයේ සඳු බලවත් වී එවැනි චන්ද්‍රයා වෘෂභ හෝ කටකයේ දෙවැන්න වී නම් එවැන්නන්ට පියකරු වතක් හිමිවේ. ඔහුට කථාවෙන් මිනිසුන් කුල්මත් කළ හැක. වචනයට අනෙකා වසඟවේ. මුතු මැණික්, ධනය මෙන්ම මව් පාර්ශ්වයේ නෑයන්ගේ දියුණුවට උදව් උපකාර ලැබේ.

දෙවැන්නේ ප්‍රබල සඳු නම් ඔහු බහු වචන කථා කරයි. මුඛයේ දත් අධික, සෙංගමාල, දත්රෝග සහිත අයෙකි. ශෝක වන්නෙක් ද මුසා බස් කියන්නෙක් ද ස්ත්‍රී වියෝග ඇත්තෙක් ද උපදී.

කුජ – මේෂ වෘශ්චික මකරය දෙවැන්න වී බලවත් කුජ එහි තැන්පත් නම් ඔහු මිනිසුන් බිය ගන්වන බලහත්කාරයෙන් අයුතු ලෙසින් ධනය ලබන මිල මුදල් ආරක්ෂාවේ යෙදෙන ආණ්ඩුවේ රැකියාවේ යෙදෙන පවුලේ හෝ සමාජයේ සහෝදරයන්ගේ ප්‍රධානියකු වේ.

කුජ දුර්වලව දෙවැන්නේ තැන්පත් වී නම් දකුණු ඇසේ රෝග හා වපර ගතියක් ද ඇති අයෙකි. රෝග සහිත දුර්වල දත් පිහිටා ඇත. නපුරු වචන කියන සහෝදරයන්ගේ දේපළ කොල්ලකා ගන්නා අයෙකු උපදී.

බුධ: දෙවැන්නේ බලවත්වූ බුධ නම් බුද්ධිමතෙකි. ප්‍රිය වචන කථා කරයි. චතුර කථිකත්වයක් ඇත. ධන ලාභ උරුම අයෙකි. තම පවුලේ දියුණුවට කටයුතු කරයි. සමිති සමාගම් ආදියේ ප්‍රමුඛයකු වේ. එසේම ලේඛන කලාවේ නියුතු වේ. මෙවැන්නන් බහුතරයක් පොත් ව්‍යාපාරිකයන් ද වේ.

දෙවැන්නේ බුධ දුර්වල නම් ඔහුට ඇත්තේ ගොත වික්කල් කථා විලාසයෙකි. හිස් බස් කියති. ගුරුවරයකු නම් තම ගෝලයන් විවිධ අපචාර සඳහා යොමුකර ගන්නා ඔවුන් මුලාකොට මිල මුදල් වංචනිකව උපයා ගන්නා අයෙකි. සූදූ ක්‍රීඩාවේ රේස් ආදියෙහි ඇලි ගැලී ධන විනාශය උරුම කර ගනී. නැන්දා මාමා සතු ධනය ද වංචනිකව පැහැර ගනී.

ගුරු: බලවත් ගුරු සුබ දෘෂ්ටි ලබා දෙවැන්නේ නම් ගණිත මිනිත ශාස්ත්‍රයේ නිපුණයෙකි. දක්ෂ ව්‍යාපාරිකයෙකි. එසේම විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ හැකි පැහැදිලි පුළුල් හඬක් ඇත. විවාහයෙන් විශාල දායාද මෙවැන්නන් ලබයි. රමණීන් සමග අන්‍යොන්‍ය ප්‍රේමයෙන් යුතු වස්තුවෙහි ලෝභියෙකු වේ.

ගුරු දුර්වලව දෙවැන්නේ නම් ගේ දොර ඉඩකඩම් අනුන්ට උරුම වේ. ධන හානි වේ. විවාහයට බාධා යෙදේ. ස්ත්‍රීන්ට පීඩා කරන වියෝග කරන නරුම ගති ඇත්තෙකි. කන් ඇසීම අඩුවූ ගොළු බව ද ඇති විය හැක. තම පවුලෙන් වෙන්ව වාසය කරන්නෙකි.

ශුක්‍ර: සුබ දෘෂ්ටි ලැබූ බලවත් සිකුරු දෙවැන්නේ නම් කිරුම් මිනුම් කරන හෝ මිනුම් උපකරණ පිළිබඳ කටයුතු කරන කැෂියර් තනතුර හෝ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන අය මෙන්ම ශාස්ත්‍ර දන්නා ජනප්‍රිය කවි කිවිඳියන් උපදී. ස්ත්‍රීන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන ගුරුවරුන්, ස්ත්‍රී යොදා ධනය උපයන ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ මෙම පිහිටීම ඇත.

දෙවැන්නේ සිකුරු දුර්වලව තැන්පත් වී නම් ඇස් රෝගියෙකි. දකුණු ඇසේ වපර ගතියක් ඇත. ඇසේ උපන් ලප පිහිටයි. ස්ත්‍රීන්ට අසභ්‍ය වචන කියන අයෙකි. ස්ත්‍රී වියවුල් ඇති අයෙක් වන අතර ආහාර පිසීම රැකියාව වේ. මෙවැන්නන් අවලක්‍ෂණ අපිරිසිදු ස්ත්‍රීන් සමග දුරාචාරයේ යෙදේ.

ශනි: දෙවැන්න මකර කුම්භ තුලා ආදී රාශියක්ව ශුභ දෘෂ්ටි ලැබූ බලවත් ශනි ඇති කල ඉඩකඩම් ඇති ධනවතුන්, මෙහෙකරුවන් යොදා කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන් මිල මුදල් පොලියට දෙන පොලී මුදලාලි ද, ධනෝපාර්ජනයට දිවා රෑ දෙකේ යෙදෙන අය ද සැපතට ගිජු නොවී වැඩ කරන්නෙක් ද වේ. මෙවැන්නන් හරි හම්බකිරීමට දක්ෂයන් වූ නමුත් දීමට අකමැති ලොභීන් වේ.

දෙවැන්නේ ශනි දුර්වල නම් දත් රෝග ඇති දිව මහත් නාසය ලොකු ගොරෝසු කටහඬක් ඇති අයෙකි. පහත් අයගේ උදවු ලබයි. පවුලෙන් වෙන්ව පිටත වාසය කරයි. මෙවැන්නන්ගේ ධනය මෙහෙකරුවන් වසඟකර ලබා ගනී. ස්ත්‍රී විපත් වියවුල් ඇතිවේ.

රාහු කේතු දෙදනාම රාශීන් නැත. ඡායා ග්‍රහයන් වන බැවින් ඔවුන් සිටින ස්ථානය බලා පලාඵල කිව යුතුය.

භාව දොළහයි ග්‍රහයො නවයයි

ජ්‍යොතිෂවේදී
එස්. ඩී. ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය
ලේනබටුව – කඹුරුපිටිය
0714396119

advertistmentadvertistment
advertistmentadvertistment