මහා පුණ්‍ය මහිමයකට හිමිකම් කියන සක්දෙව් වරුණ

134

සදෙව් ලොවින් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හා තාවතිංස දිව්‍යලෝකය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සක්‍ර දේව්න්ද්‍රයන්ය. අන්ඩජ, ජලාබුජ, සංසේජක හා ඕපපාතික යන සිව්ජාත ක්‍රමයෙන් ඕපපාතික ක්‍රමයට එනම් ඉබේම දෙවිවරු උපත ලබති. එසේ පහළවන දෙවිවරු පුණ්‍ය දායාද කරණ කොට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණවලින් විරාජමානව දිව්‍ය තේජසින් බබළයි. මහේශාක්‍ය ප්‍රණීත දෙවි කෙනකු වූ සක්දෙවිඳුන්ගේ අණසකට සමස්ත විශ්වයේම සියලු මිනිස් ලෝක ආශ්‍රිතව ඇති දිව්‍ය ලෝකවල සියලු දෙවිවරුන්, බ්‍රහ්මයන් යටත්ය. එනිසා සමස්ත විශ්වයේම සියලු දෙවි දේවතාවුන්ගේ නායක වන්නේ සක්‍ර දෙවිඳුන්ය.

සක්දෙවිඳුන් යනු අතීත සංසාරයේ බොහෝ කාලයක් දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මැනවින් ඉහළ පරිසාධන මට්ටමකින් අසාමාන්‍ය ලෙස සිදුකළ උත්තමයෙකි. එම පුණය මහිමය නිසාම සක්‍ර දෙවියන් අසාමාන්‍ය ආලෝකයක් විහිදුවාලීමේ හැකියාව ඇති රශ්මි මාලාවකින් යුතුය. සක්දෙව් පදවි ප්‍රණීත නම් දේව කුලයට අයත්, කිසිදා වෙනස් නොවන තනතුරකි. කාලයෙන් කාලයට මෙම සක්දෙව් පදවියට බොහෝ පින් ඇති දිව්‍ය ලෝකයේ අනේකවර ඉපිද දිව්‍ය සම්පත් විඳ ඇති විශ්වය පාලනය කිරීමේ දැනුම මෙන්ම බොහෝ අත්දැකීම් බහුල සිල්වත් උත්තමයන් පත්වේ. ඒ එසේ වුවත් මුළු විශ්වයටම සිටින්නේ එක් සක්දෙවි කෙනකු පමණි.

සක්දෙව් පදිවියට පත්වීමට පින පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ ශීලාදී ගුණ දහම් පිරිය යුතුය. එලෙස සක්දෙව් පදවියට පත්වන එක් එක් සක්දෙවිඳුන්ගේ පුණ්‍ය මහිමය විවිධාකාර බැවින් ඒ ඒ සක්දෙවිඳුන්ගේ ශක්ති මට්ටම ද බලය ද විවිධය. වෙනස්ය. සාමාන්‍යයෙන් සක්‍ර දේවේන්ද්‍ර තනතුරට පත්වනුයේ මත්තට සම්මා සම්බුදු හෝ පසේබුදු හෝ වන බෝධිසත්ත්ව උත්තමයෙකි. දෙව්ලොව දෙවිවරු අතරින් බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවිවරු සක්දෙව් පදවියට සුදුසුකම් කියති. එලෙස පිනෙන් හා බලයෙන් අන් දෙවිවරු පරයන්නේ ඉතා ඉහළ මට්ටමින් සිල් රැකීම හා ධාර්මිකව පිරිසිදුව ප්‍රිය උපදවන අයුරින් උසස් ලෙස දන්දුන් අයයි. එනිසා මහබඹු හෙවත් මහා බ්‍රහ්මයන්ට දෙවැනි කොට සමස්ත විශ්වයේම සියලු දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක පාලක එකම දෙවියන් පෙරකී සේම සක්‍රයාය.

පොත පතේ සඳහන්වන ආකාරයට සක්දෙවිඳුන් මිනිස් ලොව විවිධ නාමයන්ගෙන් යුත් අවතාරවලින් පෙනී සිටී. එනම් විවිධ රටවල, විවිධ ජාතීන්, විවිධ නම්වලින් එකම සක්‍ර දෙවියන් හඳුන්වනු ලබයි. එසේම අදහනු ලබයි. එලෙස සක්දෙවිඳුන් හඳුන්වන නාමයන් ලෙස ඉන්ද්‍ර, අනු, තෝර්, අමුන්, සියුස්, ජුපිටර්, ටෙශුබ්, යුක්කෝ, සක්‍ර, පෙරුන්, හෙනරාජ, වජ්‍රසත්ත්ව, වජ්‍රපානී, ටීනියා, ටයිශකුටෙන්, ඩිශිට්යෑන් හා ජෙඩ් එම්පයර් දක්වාලිය හැක. එසේම ඉන්ද්‍ර, සුරරද, සුරපති, සක්දෙව්, ඉඳුරු, සහසැස්, සුරනිඳු, මහේන්ද්‍ර, සක්ඉඳු, වජ්‍රපානී, විදුරවි, නිදස්රූ, දික්පති, පුරන්දර, විදුරන්, හරිසුරරූ, සුරගුරු ආදී පර්යාය නාම රැසකින් ද සක්දෙවිඳු හඳුන්වනු ලබයි.

සක්දෙවිඳුන්ගේ බිරිඳ ප්‍රණීත දෙව් කුලයටම අයත් ඉන්ද්‍රානි නම් වන්නේය. සක්‍ර දෙවිඳුන්ගේ සක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජයන්ත ප්‍රාසාදයේ වේ යැයි කියවේ. සක්‍ර දෙවිඳුන්ට දේව දාසයන් ලෙස අල්පේශාක්‍ය හීන දෙවිවරු කීපපළක් සේවය කරති. ඒ අතර සක්දෙවිඳුන්ගේ වාහනය ලෙස සැලකෙන හිස් තුනක් හා දළ සතරකින් හෙබි යැයි කියැවෙන ධවල හස්ති රාජයා ද එනම් ඒරාවණ දෙවිඳු ද වීනා වාදනය කරන පඥ්චශික දෙවිඳු ද රියැදුරු වූ මාතලී දෙවිඳු ද මූලිකය. මෙම ඒරාවණ හස්තියා පිනෙන් අඩු අල්ප පිං ඇති දිව්‍ය ආත්මයක් විනා තිරිසන්ගත සත්ත්ව ආත්මයක් නොවන වග ද දත යුතුය.

බුදුදහමේ සඳහන්වන ලෙසට යම් මනුෂ්‍යයකු සක්දෙවි පදවිය පතයි නම් හෙතෙම අනිවාර්යයෙන්ම සිල්වත්ව දන්පින් කළ යුතුය.

අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. කේලාම්, පරුෂ වචන භාවිතයෙන් තොර විය යුතුය. සැබෑ ලෙස දෙමව්පියන්ට සැලකිය යුතුය. ගරු කළ යුතු වැඩිහිටියන්ට ගරු කළ යුතුය. හැකිතාක් උපරිමයෙන්ම මෘදු වචන කතා කළ යුතුය.

සක්දෙවිඳුන් සතු ආයුධය මුළු මහත් විශ්වයේම එකක් වූ වජ්‍රායුධයයි. විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ නිර්මාණයක් වූ වජ්‍රායුධයේ එකම හිමිකරු සක්දෙවිඳුන්ය. සක්දෙවිඳුන්ට පමණක් දර්ශනය කළ හැකි වජ්‍රායුධය සක්‍ර දේවේන්ද්‍රයන්ට අවශ්‍ය නම් අන් දෙවිවරුන්ට මෙන්ම බ්‍රශ්මයන්ට දර්ශනය කළ හැක. මහා බලසම්පන්න ආයුධයක් වූ වජ්‍රායුධය භාවිතා කිරීමට අවශ්‍ය ශක්තීන් සියල්ල සක්දෙවිඳුන් සතුය. සක්දෙවිඳුන් මෙම ව්‍රජායුධය ආධාරයෙන් අකුණු, විදුලිය, වැසි කුණාටු ආදිය ඇතිකරයි. ඒ අනුව වැසි, කුණාටු ඇතිකරන දෙවියන් වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. තවද මනුෂ්‍යයන්ගේ අධම ක්‍රියා නිසා විශේෂයෙන් පින් දහම්හි නිරත සත්පුරුෂයන්ට කරනු ලබන අස්ථාන චෝදනා, ගැරහීම්, තාඩන, පීඩන ආදියේදී කෝප වී සක් දෙවිඳුන් අකුණු හා හෙණ ගැසීම් මගින් එවන් පාපතර ක්‍රියාවන්හි නිරතවූවන්ට අනතුරු ඇඟවීම් හෝ දරුණු දඬුවම් කරන බව ද කිව යුතුමය.

සක්‍ර දේවේන්ද්‍රයන් විශේෂයෙන් යහපත් මනුෂ්‍යයන්ගේ දුක් කරදර මැඬලීමට පිහිට වේ. සාමාන්‍යයෙන් වක්‍රවර්තී රජ කෙනෙකුන් නොමැති කාල වකවානුවල මනුෂ්‍ය ලා්ක පාලනය කරන්නේ සක්දෙවිඳුන්ය. සක්දෙවිඳුන් සාමාන්‍ය, පෘතග්ජන මනුෂ්‍යයන්ට පෙනෙන, දැනෙන සේ කිසිවක් සිදුනොකළ ද නොපෙනෙන නොදැනෙන ලෙස සමස්ත විශ්වයටත් සාමාන්‍ය ගුණ යහපත් සිල්වත් මනුෂ්‍යයන්ටත් පිහිටවන වාර අනන්තය. අප්‍රමාණය. එසේ පිහිට වීමේ සුවිශේෂී දිව්‍යමය හැකියාව සක්දෙවිඳුන් සතුය. ව්‍යවහාරයේ පවතින ලෙසට සතර පෝයට සක්දෙවිඳුන් දේව වේෂයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය වේෂයෙන් බොහෝ විට යාචකයකු ලෙස මිනිස් ලොවට පැමිණ සැරිසරන බව නොරහසකි.

ශක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම බොහෝ රටවල සුලභව සිදුවේ. ඒ ඉහතදී සඳහන් කළ සේම විවිධ වූ අවතාර නාමයන්ගෙනි. එනිසා අප ද සක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම උතුම් ක්‍රියාවකි. විශේෂයෙන් මහා බ්‍රාහ්මයන්ටත් සක්දෙවිඳුන්ටත් තමා යම් පින්කමක් කළ පසු ඒ පින් අනුමෝදන් කිරීම ඉතාම ප්‍රතිඵලදායකය. කරුණු කාරණා කෙසේ වුවත් මහායාන බුදුදහමට අනුව වජ්‍රසත්ත්ව බෝසතුන් ආරක්‍ෂා කරනුයේ ද සක්දෙවිඳුන්මය. එපමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හා බලගතු තෛල ලෙස හඳුන්වන රාජතරංගනී තෛලය හා හෙනරාජ තෛලය අතුරින් හෙනරාජ තෛලය සඳහා බන්ධනය කරනු ලබන හෙනරාජ දෙවියන් වනුයේ ද අන් කවරෙක් නොව සක්‍ර දෙවියන්මය.

තවද සක්‍ර දෙවියන්ගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනය වන අතර එය නිර්දෝෂී සැබෑ සිල්වත් අයකුට නම් අසාධාරණයක් වන විට රත්වී උණුවන බවක් ද පොත පතේ සඳහන් වේ. එසේම සක්දෙවිඳුන් වජ්‍රායුධය අත නොදරන අවස්ථාවල එය සුදර්මා නම් දිව්‍ය සභාවේ වූ පාන්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත තැන්පත් කර ඇති බව සක්‍ර දේවේන්ද්‍රයන් සම්බන්ධ තතුවල සඳහන්ය.

මහා පුණ්‍ය මහිමයකට හිමිකම් කියන සක්දෙව් වරුණ

ජ්‍යොතිෂවේදී, දෙශබන්දු
ආචාර්ය මහේන්ද්‍ර පල්ලේබැද්ද,
පානදුර.
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment