අසලංකගේ ශතකයේ මතක සමග දෙපිල අද යළි ප්‍රේමදාස පිටියට

231

ශ්‍රී ලංකාව හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) ප.ව. 2.30 ට පැවැත්වීමට නියමිතය.

පළමු තරගය වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව පෙරේදා (06 වැනිදා) අවසන් වීම මත අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වී ඇත.

පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ දී කඩුලු 9 ක් දැවී ලකුණු 273 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමේ 4 වැනි පන්දු වාරය අවසන් වීමත් සමඟ පිටියට ඇද හැලුණු වර්ෂාව තරගයේ තීරණයට හරස් විය.

ඒ අනුව රාත්‍රී 9.15 ට පමණ තරගය අත්හැරීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 12 ක් ලබා සිටියේය.

දැවී ගිය එම කඩුලු දෙකම ඩිල්ශාන් මධුසංඛගේ පන්දු හමුවේ වාර්තා වූ අතර නායක ක්‍රේග් අර්වින් සහ ආරම්භක පිතිකරු ටිනාශේ එසේ දැවී ගිය පිතිකරුවෝ වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිහරඹයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ උප නායක චරිත් අසලංක පන්දු 95 කින් ලකුණු 101 ක් ලබා ගත් අතර ඊට හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වූයේය.

එම ශතකය චරිත්ගේ තුන්වෙනි ශතකය වූ අතර කලකට පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා පළමු පන්දු වාරයෙන්ම දැවී

ගියේය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46කට ත් සධීර සමරවික්‍රම ලකුණු 41 කට ත් දැවී ගියහ.

එම තරගයේ දී එක්දින වරම් හිමිකර ගැනීමට ජනිත් ලියනගේ සමත් වූ අතර ඔහු ලකුණු 24 ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා, බ්ලෙසින්ග් මුසරබානි හා ෆරාස් අක්‍රම් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment