විදුලි ඉංජිනේරු වර්ජනයට උසාවියෙන් තහනමක්

122

ඉදිරි දින 14ක කාලය තුළදී කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හෝ වැඩ වර්ජනයක නිරත වීම වළක්වමින් හා එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල් කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (09 දා) ශ්‍රී ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර හා එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න යන මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ දිසා විනිසුරුවරිය එම වාරණ නියෝගය නිකුත් කළාය.

එම වාරණ නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් එම වගඋත්තරකරුවන් වෙත දැනුම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට දිසා විනිසුරුවරිය එහිදී දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් අතුරු තහනම් දැන්වීම් හා නොතිසි වගඋත්තරකරුවන් වෙත යැවීමට ද නියෝග කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළාය.

විදුලි බලය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව විදුලි බලය සැපයීමට බාධා පැමිණවීම නීති විරෝධී වන අතර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටී ඇති වර්තමාන යුගයේ එලෙස රට අඳුරේ තැබීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

තමන් විසින් පසුගිය අප්‍රේල් 4 වැනිදා ඉදිරිපත් කළ කොන්දේසි හතරට බලධාරීන් එකඟතාවක් නොදක්වන්නේ නම් ජුනි 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම පැය 24 පුරාම අඳුරේ තැබීමට පියවර ගන්නා බවත් වගඋත්තරකාර වෘත්තිය සමිති ක්‍රියාකාරීන් දැනුම් දී ඇතැයි ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment