රෝග රැසකට සුවදෙන යෝග මුද්‍රා

281

ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ගේ පාලනය ශරීරය තුළ ඇති කිරීමට සෘෂිවරු ලබාදුන් ප්‍රතිකාර ක්‍රමය මුද්‍රා වේ. මෙම මුද්‍රා මගින් ශරීරය තුළ පංච භූත පාලනය මෙන්ම සමබරතාවය ද ඇතිවේ. මුද්‍රා ක්‍රියාකාරීත්වය දෙඅත්වල ඇඟිලි හා සම්බන්ධ වේ. එම ඇඟිලි තුඩු තෙරපීම මත සිරුරට හානි කරන ප්‍රබල රෝගකාරක නැතිවී යයි. මෙය පිරිමි, ගැහැනු, ළමයි, තරුණ, මහලු යන සෑමදෙනාම පාහේ නිරෝගිකම වෙනුවෙන් හා ආත්මයේ දියුණුව වෙනුවෙන් භාවිතා කිරීම මුද්‍රාවල විශේෂත්වයයි.

මුද්‍රා විවිධ අවස්ථාවන්වලදී භාවිතා වේ. ඒ අතර නර්තනයේ යෙදෙන විට, සංගීතයේදී, යෝග අභ්‍යාසවල මෝහන ප්‍රතිකාර ක්‍රම, නිල උත්තේජනය කිරීමේ තුන්ඩලිනී යෝග අභ්‍යාසවලදී මුද්‍රා නාට්‍ය හා චීන කුංෆු සටන් ක්‍රම විශේෂ වේ. නර්තන අතර භරත නැටුම් ක්‍රමයේදී මුද්‍රා 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් භාවිතා කරයි.

යෝග මුද්‍රාවේ ආසන ක්‍රම ගණනාවක් වුවද වඩා සුලභ ආසන ලෙස සුඛාසනය, වජ්‍රාසනය, පද්මාසනය, ස්වස්ථිකාසනය හා සිද්ධාසනය සැලකිය හැක. ඉහත ආසන වලින් එක් ආසනයක සිට මුද්‍රා විධි භාවිතා කරයි.

මුද්‍රා විධි භාවිතය සඳහා හස්තයේ ඇඟිලි භාවිතා කරයි. එම ඇඟිලි හඳුනා ගැනීම මුලින්ම කළ යුතුයි. එහිදී පංච භූත තත්ත්වයන් ඇඟිලි වලින් නිරූපණය වන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතුයි.

හස්තයේ සුළැඟිල්ලෙන් ආකාශ ගුණය ද, මහපට ඇඟිල්ලෙන් පඨවි ගුණය ද, දබර ඇඟිල්ලෙන් ආපෝ ගුණය ද, වෙදඟිල්ලෙන් වායෝ ගුණය ද, මැදඟිල්ලෙන් තේජෝ ගුණය ද අයත් වේ. සුලැඟිල්ල බුධ ඇඟිල්ල ලෙසත්, මහපට ඇඟිල්ල සිකුරු ඇඟිල්ල ලෙසත්, දබර ඇඟිල්ල ගුරු ඇඟිල්ල ලෙසත් වෙදඟිල්ල රවි ඇඟිල්ල ලෙසත් මැදඟිල්ල ශනි ඇඟිල්ල ලෙසත් සාමුද්‍රිකා ශාස්ත්‍රයේ හඳුන්වයි.

“ස්වරාත්ම” සෘෂි විසින් යෝග මුද්‍රා ක්‍රම රාශියක් පිළිබඳ ග්‍රන්ථාරූඪ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අතර අද සමාජයේ ජනයා අතර බහුලව භාවිතා වන මුද්‍රා ක්‍රම කිහිපයකි. ඒවා නම් ප්‍රාණ මුද්‍රාව, වායු මුද්‍රාව, ආකාශ මුද්‍රාව, ශුන්‍ය මුද්‍රාව, සුරස මුද්‍රාව, පාර්වතී මුද්‍රාව, ඥාන මුද්‍රාව, වරුණ මුද්‍රාව, ආපාන මුද්‍රාව හා ලිංග මුද්‍රාවයි.

පොදුවේ මුද්‍රා භාවිතය මගින් මානසික, කායික අධ්‍යාත්මික වර්ධනයට හේතුවන අතර ශරීර ශක්තිය උත්පාදනයට වා, පිත්, සෙම් දෝෂ සමනයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියමාකාරව ක්‍රියාකරවීම, රෝග බෝනොවීම, ස්නායු පද්ධතිය පිරිසිදු කිරීම, දැනුම වර්ධනය, ශක්ති වර්ධනය ආදිය ලබාදුන්න ද, එක් එක් මුද්‍රා ක්‍රම මගින් විවිධ රෝගාබාධවලට සහන උදාවේ. ඒ මොනවා දැයි දැන ගැනීමට මුද්‍රා වෙන වෙනම අධ්‍යයනය කළ යුතුයි.

ප්‍රාණ මුද්‍රාව

ප්‍රාණ මුද්‍රාව ජීවන මුද්‍රාව ලෙස ද හඳුන්වයි. සුළැඟිල්ල හෙවත් බුධ ඇඟිල්ලේ තුඩ, වෙදඟිල්ල හෙවත් රවි ඇඟිල්ලේ තුඩ මගින් මහපට ඇඟිල්ල හෙවත් සිකුරු ඇගිල්ලේ තුඩ ස්පර්ෂ කිරීමයි. අනෙක් ඇඟිලි දෙක එනම් ගුරු ඇඟිල්ල හා ශනි ඇඟිල්ල කෙළින් තිබිය යුතුයි. මෙම මුද්‍රා ක්‍රමය මිනිත්තු 30 ත් 50 ත් අතර කාලයක් සිදුකිරීම ප්‍රමාණවත් වේ. මෙම මුද්‍රා ක්‍රමය මගින් ශරීරයේ දුර්වලතාවයන් ඉවත් කරයි. මානසික පීඩනය පහවෙයි. මනසේ ඇති අශුභවාදී සිතුවිලි ඉවත් කරයි. ඇස් පෙනීම වර්ධනය කරයි. ඇස්වල සුද හට නොගන්නා අතර දුර ළඟ නොපෙනීම දුරු කරයි. ශ්වාසනාළය ශක්තිමත් කරයි. විටමින් ඌනතා ඇති නොවේ. නිරෝගීභාවය, ක්‍රියාශීලීභාවය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. කුසගින්න හා පිපාසය අඩු කරයි. දියවැඩියා රෝගීන්ට මෙන්ම අංශභාග රෝගීන්ට ඉතා සුභය. රුධිරය පිරිසිදු කර, රුධිර සංසරණය යහපත් කරයි. ශරීරයට දැනෙන අධික වෙහෙස නැතිවී යයි.

වායු මුද්‍රාව

දබර ඇඟිල්ල හෙවත් ගුරු ඇඟිල්ල අල්ල දෙසට නවා මහපට ඇගීිල්ලෙන් එනම් සිකුරු ඇඟිල්ලෙන් එම දබර ඇඟිල්ල ඇතුළට තෙරපන්න. මෙම මුද්‍රා ක්‍රමය සිදුකිරීමේදී වජ්‍රාසන ආකාරයට හිඳීම සුදුසුය. මෙය මිනිත්තු 50 ක් පමණ කිරීම ප්‍රමාණවත්ය. වායු මුද්‍රාව ශරීරයේ ආමවාතය පාලනයට, සිරුරේ වේදනා, දනහිස් සන්ධි වේදනා, කොන්දේ වේදනා ආදිය සමනයට හා හෘදයාබාධ පාලනයට උපකාරී වේ. ආහාර දිරවීම පහසු වේ. සිරුර පැහැපත් වීම ද සිදුවේ. ඇතමුන් මෙම වායු මුද්‍රාව පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් වාඩි වී සිදුකිරීම ද දැකිය හැක.

ආකාශ මුද්‍රාව

මැද ඇඟිල්ල හෙවත් ශනි ඇඟිල්ල අල්ල දෙසට නවා එහි තුඩ මහපට ඇඟිල්ල හෙවත් සිකුරු ඇඟිල්ලේ තුඩ හා සම්බන්ධ කිරීමයි. මෙම මුද්‍රා ක්‍රමයෙන් මිනිත්තු 50 ක් පමණ සිටීම වටී. නමුත් මෙම ආකාශ මුද්‍රාව ඇවිදිමින් හෝ ආහාර ගත් විගස සිදු නොකළ යුතුයි. මෙම මුද්‍රාව මගින් ශ්‍රවණ ශක්තිය දියුණු වේ. අස්ථි ශක්තිමත් වේ. සිතට දැනෙන හිස්බව දුරලයි. කනෙන් ශ්‍රාවය හෙවත් සැරව ගැලීම සුවකරයි. කන්රුදාව සමනය කරයි. හෘද රෝග සුව කරයි. මෙම ආකාශ මුද්‍රාව සඳහා බොහෝදෙනෙක් වජ්‍රාසන ක්‍රමයට වාඩිවීම දැකිය හැක.

ශුන්‍ය මුද්‍රාව

මැදඟිල්ල හෙවත් ශනි ඇගිල්ල අල්ල තුළට නවා සෙසු ඇඟිලි සෘජුව තබා ගනිමින් සිකුරු ඇඟිල්ලෙන් මැද ඇඟිල්ලේ හිස පොත්ත තද කිරීමයි. මෙය ආකාශ මුද්‍රාවෙන් වෙනස් වන්නේ සුළු වශයෙනි. නමුත් මුද්‍රා දෙක දෙකකි. ලැබෙන ඵලය ද වෙනස් වේ. ශුන්‍ය මුද්‍රාව මගින් උගුර හා තයිරොයිඩ් ග්‍රන්ථිවල යහපත් ක්‍රියාකාරීත්වය ලැබේ. විදුරුමස් ශක්තිමත් වන අතර කන් ඇසීම ද ක්‍රමවත් වේ. මෙය මිනිත්තු 50 ක් පමණ සිදුකිරීම යෝග්‍ය වේ. ආසනය ලෙස වජ්‍රාසනය සුදුසුය.

සුරස මුද්‍රාව

වෙද ඇඟිල්ල හෙවත් රවි ඇගිල්ල අල්ල තුළට යවා මහපට ඇඟිල්ලෙන් වෙදඟිල්ලේ නියපොත්ත උඩින් තද කිරීමයි. අනික් ඇඟිලි තුන සෘජුව තිබිය යුතුයි. මෙම මුද්‍රාව දිනකට මිනිත්තු 15 ත් 30 ත් අතර කිරීම ප්‍රමාණවත්ය. සුරස මුද්‍රාව මගින් තරබාරුව පාලනය කර සිරුර සමබර කරයි. සිරුරේ සම්මත උෂ්ණත්වය පවත්වා ගනී. ජීර්ණය පහසු වේ. ආතතිය පාලනය කරයි. ශරීර ශක්තිය වැඩිවන අතර සූර්යයාගේ ශක්තිය ද ශරීරයට උරා ගනී. තවද පඨවි ධාතුව අඩු වැඩි වීමෙන් හටගන්නා රෝග සියල්ලද සමනය වී යයි.

පාර්වතී මුද්‍රාව

මෙය ද සුරස මුද්‍රාවට බෙහෙවින් සමානය. නමුත් ශරීරයට ලැබෙන ගුණ වෙනස්ය. පාර්වතී මුද්‍රාවේදී වෙද ඇඟිල්ලේ තුඩ මහපට ඇඟිල්ලේ තුඩ සමඟ සම්බන්ධ වීමයි. මෙහිදී අනෙක් ඇඟිලි තුන සෘජුව තිබිය යුතුයි. මෙම මුද්‍රාක්‍රමය මගින් සිරුර ශක්තිමත් කරයි. නිරෝගී කරයි. අධික කෙසඟකම හා තරබාරුව පාලනය කරයි. පීනස හා සෙම පාලනය සිදුවේ. දිනෙන් දින රුව වඩවනු ඇත. මෙම මුද්‍රා ක්‍රමය කැමැති ආසනයකින් මිනිත්තු 25 ක් පමණ කිරීම ප්‍රමාණවත්ය.

ඥාන මුද්‍රාව

මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලෙන් ස්පර්ශ කිරීම හා අනෙක් ඇඟිලි තුන දිගහැර තිබීමයි. මෙය වායු මුද්‍රාව නොවන බව වටහා ගත යුතුයි. මහපට ඇඟිල්ලේ තුඩෙහි පිටියුටරි ග්‍රන්ථියේ කේන්ද්‍රීය ස්ථානය බැවින් එම ග්‍රන්ථිය හොඳින් ක්‍රියාකිරීම මෙම ඥාන මුද්‍රාව මගින් සිදුවේ. පුද්ගලයාට මතක ශක්තිය වැඩිවීම, හොඳින් නින්ද යෑම, මනසේ ඒකාග්‍රතාව පවත්වා ගැනීම, මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හා කෝපය සමනය වීම සිදුවේ. පද්මාසනයේ හෝ සිද්ධාසනයේ වාඩිවී මෙම ඥාන මුද්‍රාව සිදුකරයි. මිනිත්තු 15 ක් පමණ සිදුකිරීම ප්‍රමාණවත්ය. පඨවි ධාතුව නිසා හටගන්නා රෝග සියල්ල සමනය වේ.

වරුණ මුද්‍රාව

මෙය ත්‍රිෂුල් මුද්‍රාව ලෙස ද හඳුන්වයි. සුළැඟිල්ල හෙවත් බුධ ඇඟිල්ල තුඩ සමඟ මහපට ඇඟිල්ලේ තුඩ එකට තබා තෙරපීමයි. මෙහිදී අනෙක් ඇඟිලි සෘජුව තිබිය යුතුයි. මෙම මුද්‍රාව මිනිත්තු 50 ක් පමණ කිරීම ප්‍රමාණවත් වේ. මෙමගින් රූප ශෝභාව වර්ධනය වේ. සමේ වර්ණය පැහැපත් කරයි. ආකර්ෂණීය රුවක් ලබාදේ. සිරුරේ ඇති ජලීය පරිමාව සමතුලිත කිරීම, හම සිනිඳු වීම හන්දිපත් වේදනා, කෙණ්ඩාපෙරළීම ආදිය සමනය වීම. මෙම මුද්‍රා ක්‍රමය පුරුෂයන්ට වඩා කාන්තාවන්ට ඉතා යෝග්‍ය වේ.

ආපාන මුද්‍රාව

මැදඟිල්ල, වෙදඟිල්ල හා මහපට ඇඟිල්ල යන ඇඟිලි තුනේ තුඩු එකිනෙකට ස්පර්ශ කර තෙරපීමයි. මෙම මුද්‍රා ක්‍රමය මගින් මලබද්ධය නැතිවී යයි. අර්ශස් රෝග සුවවේ. දියවැඩියාව පාලනය කරයි. වජ්‍රාසන, පද්මාසන යන කැමැති ආසනයක වාඩිවී දිනකට මිනිත්තු 30 ක් පමණ ආපාන මුද්‍රාව කළ යුතුයි.

ලිංග මුද්‍රාව

අත් දෙකෙහිම ඇඟිලි එකිනෙක තදින් බැඳ වම් අතේ මහපට ඇඟිල්ල කෙළින් අතට තබා දකුණු අතේ දබර ඇඟිල්ලෙන් කෙළින් කළ මහපට ඇඟිල්ල තෙරපීමයි.

ලිංගික දුබලතා වලට බොහෝ වටී. නිතැතින් දුබලතා පහව යයි. යුගදිවිය සාර්ථක වේ. ස්නායු ක්‍රියාකාරීත්වය වැඩිකරයි. ඈලිමෑලි දුබල ගති පහව යයි. ශක්තිමත් සිරුරක් ලබාදේ. මෙම ලිංග මුද්‍රාව දිනකට මිනිත්තු 30 ක් පමණ කිරීම ප්‍රමාණවත් වේ. කිරීමට තරමක් අපහසු මුද්‍රාවක් සේ සැලකුණ ද, අපහසුව මැඬලමින් ලිංග මුද්‍රාව සිදුකිරීම ජීවිතයට බොහෝ වැදගත්ය.

ද්වාපර යුගයේ විසූ සෘෂිවරුන් විසින් සකල ලෝ සත්ත්වයාට හිත සුව පිණිස දන්දුන් මෙම හස්ත මුද්‍රා ඔබත් ගුරු උපදේශ යටතේ පුරුදු පුහුණු වී නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උරුමකම් කියන්න.

රෝග රැසකට සුවදෙන යෝග මුද්‍රා

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment