දරුවන්ගේ කුසගිනි නිවන්න  වැරදි වැඩක් කළ දෙදරු පියාට පොලිසියෙන් පිහිටක්

1702

දරු පවුලේ කුසගිනි නිවාලීමට වෙළෙඳසලකින් සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකට් එකක් මුදල් නොගෙවා රැගෙන යෑමට තැත් කළ 27 හැවිරිදි දෙදරු පියකුගේ බිල්පත බොරැල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න මහතා තම මුදලින් ගෙවා ඇත.

ඉකුත් 19 දා පෙරවරු 11.30 ට පමණ බොරැල්ල පොලිසියේදී සිදු වූ මෙම සිද්ධිය එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි සියල්ලන්ගේ හද සසල කරවීමක් විය.

සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ 27 හැවිරිදි අයෙකි. පෙදරේරුවන් සඳහා අත්උදවුකරුවකු ලෙස කුලී වැඩක් කරගනිමින් එදිනෙදා කීයක් හෝ උපයන ඔහුට පෙර දිනයේ මෙන්ම එදිනෙදා කිසිදු කුලී වැඩක් හමු නොවූ අතර නිවැසියන්ගේ කුසගින්න පිළිබඳව ඇති වූයේ දැඩි සිත් වේදනාවකි.

කළ හැකි දෙයක් නොවූයෙන් බොරැල්ල සතොස වෙළෙඳසලට ඇතුළු වූ ඔහු සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකට්ටුවක් දෑතට ගෙන ඒ සඳහා ිකිසිදු මුදලක් නොගෙවා වෙළඳසලේ පිටවීමේ දොරටුව වෙත පැමිණියේය.

එහෙත් ආරක්ෂක අංශවලින් ඔහුට ඊට අවසරයක් නොලැබිණි. මුදල් නොගෙවා භාණ්ඩ රැගෙන යෑම සොරකමක් සේ සැලකූ සතොස ආරක්ෂක අංශය සොරාගත් භාණ්ඩ ද සමග සැකකරු බොරැල්ල පොලිසිය වෙත රැගෙන ආවේය.

ඒ වනවිට බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න මහතා වෙත සැකකරු හා භාණ්ඩ ඉදිරිපත් කළ සතොස ආරක්ෂක නිලධාරීන් රුපියල් අටසිය හතළිහක (840/=) ආහාර ද්‍රව්‍ය මුදල් නොගෙවා රැගෙන යෑමට උත්සාහ කිරීමේදී සැකකරු මෙසේ පොලිසියට රැගෙන පැමිණි බව සඳහන් කර සිටියහ.

සැකකරු වෙත විමසිලිමත්ව නෙත්යොමා සිටි උප පොලිස් පරීක්ෂකවරයාට තම අත්දැකීම් අනුව ඔහු අහිංසකයකු බව වටහා ගැනීමට හැකි වූයේ ඔහු පිළිබඳ සියලු තොරතුරු විමසා දැන ගැනීමෙන් පසුවය.

තම අඹුදරුවන්ගේ කුසගින්න නිසාත් එදා වේලට යමක් උපයා ගැනීමට නොහැකි වූ නිසාත් ඔහු මෙම තත්ත්වයට පත් වී ඇතැයි අවබෝධ කරගත් උප පොලිස් පරීක්ෂකවරයා තම පසුම්බියෙන් රුපියල් දහසේ නෝට්ටුවක් සැකකරු අත තබා මෙම මුදල් රැගෙන ගොස් සතොස බිල ගෙවා දමා අඹු දරුවන්ගේ කුසගින්න නිවා දමන්නයි උපදෙස් දුන්නේය. සතොස ආරක්ෂක අංශයේ කැමැත්ත පරිදි මුදල් ගෙවීමෙන් පසු සැකකරු මුදාහරින ලෙස පවසමින් උප පොලිස් පරීක්ෂකවරයා සතොස ආරක්ෂක අංශය වෙත සැකකරු යොමු කළේය.

එම අවස්ථාවේ බොරැල්ල පොලිසියට වැඩම කර සිටි බොරැල්ල තිලකරත්නාරාමවාසී උණුවතුර බුබුලේ පියදස්සි හිමියෝ සැකකරු කැඳවා කිසියම් පරිත්‍යාගයක් සිදු කර යහපත් පුරවැසියකු ලෙස ජීවිතය ගොඩනඟා ගන්නා ලෙසට අනුශාසනා කළහ.

ඇන්ටන් ප්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment