බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය හිටපු මේජර් කෙනෙක්ගේ වැඩක්

605

කොන්ත්‍රාත් මිනීමරුවාත් හිටපු නාවික සෙබළෙක්

බිරිඳ හා මාමණ්ඩිය කුඩු සමග අත්අඩංගුවට

ඩුබායි පැන්න සැකකරු දැන් කොස්ගොඩ සුජී එක්ක

වාහනය දුන් හිටපු අයි. පී. සොයා පරීක්‍ෂණ

සීසීටීවී හරිම ඔත්තුව දෙයි

බෙලිඅත්ත පංචපුද්ගල ඝාතන සැලසුම මෙහෙයවා ඇත්තේ හිටපු යුද හමුදා මේජර්වරයකු විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ අතර මෙම ප්‍රහාරයේ කොන්ත්‍රාත් මිනීමරුවකු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා සෙබළාගේ බිරිඳ සහ ඇගේ පියා මත්ද්‍රව්‍ය ද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පල්ලේවෙල මුද්දරගම ප්‍රදේශයේදී පෙරේදා (01 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හිටපු නාවික හමුදා සෙබළා ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන්තොටුපළෙන් අබුඩාබි බලා ගොස් ඇති අතර මේ වන විට ඔහු කොස්ගොඩ සුජී ඇතුළු පාතාල නායකයන් සමග ඩුබායි රාජ්‍යයේ සිටින බවද අනාවරණය වී ඇත.

සැකකාර හිටපු නාවික හමුදා සෙබළා සමග මෙම ප්‍රහාරයට එක්වී සිටි අනෙක් කුලී ඝාතකයා, යුද හමුදා විශේෂ බළකායෙන් පලා ගිය සෙබළකු බවද හෙළිවී තිබේ.

ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන හිටපු මේජර්වරයා මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙන් පසු ඉකුත් 2002 වර්ෂයේදී සේවයෙන් ඉවත් කර තිබේ.

මේ අතර මෙම ප්‍රහාරය සඳහා ඝාතකයන් පැමිණි ජීප් රථය ලබාදුන් හිටපු පොලිස් පරීක්‍ෂකවරයකු සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඩුබායි සිටින කොස්ගොඩ සුජි නමැති පාතාල නායකයාගේ නියෝග මත මෙම ප්‍රහාරය එල්ල කළ හිටපු නාවික සෙබළා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් කළ විමර්ශනයකදී ඔහු නිල්ලෙවෙල මුද්දරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළිවී ඇත්තේ මෙම සෙබළා ප්‍රහාරයෙන් පසුව ගමන් ගත් මාර්ගයේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය.

කඹුරුපිටිය නගරයේදී ජීප් රථයෙන් බැස යන දර්ශන පසුගියදා මාධ්‍ය ඔස්සේ විකාශය වූ අතර එසේ ගමන් කරන්නේ මෙම නාවික සෙබළා බව පසුව හෙළි විය.

මේ අතර මෙම ප්‍රහාරයේ සැලසුමට මෙම නාවික සෙබළාගේ 39 හැවිරිදි බිරිඳ ද සම්බන්ධවී සිට ඇති අතර ඇය ඩුබායිහි සිටින කොස්ගොඩ සුජිගේ ගෝලයකු වන හර්ෂ සමග සබඳතා පවත්වමින් දිගින් දිගටම ප්‍රහාර සැලසුම සමග සිට ඇති බවද අනාවරණය වී ඇත.

මෙම කාන්තාවගේ පියාද පාතාලයට සහය දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අතර ඔවුන් වේයන්ගොඩ පොලිසියේ රඳවා ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment