එකම පවුලේ තිදෙනෙක් මරුට = වැල්ලවායේදී කැබ් – ත්‍රිරෝද මුහුණට මුහුණ ගැටී

351

සැකකාර බීමත් රියැදුරු අත්අඩංගුවට

නුගයාය ප්‍රදේශයේ ජයන්ති කැෆේ හෝටලය ඉදිරිපිටදී පෙරේදා (04 වෙනිදා) රාත්‍රී කැබ්රථයක් සහ ත්‍රිරෝදයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රිරෝදය පැදවූ පොලිස් සැරයන්වරයකු සහ එහි සිටි ඔහුගේ බිරිඳ සහ පියා මියගොස් ඔහුගේ 11 හැවිරිදි පුතා තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය පරගස්මංකඩ අංක 1/44 හි පදිංචි තණමල්විල පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් (39937) ආර්. එම්. චන්ද්‍රරත්න (44), බිරිඳ වන හේවාකට්ටඩිගේ දිල්කා සිරෝමාලී (42), පියා වන ආර්. එම්. ඇක්මන් (70) නමැති තිදෙනාය.

මෙම අනතුරෙන් ආර්. එම්. අනුහස් සිතිජ (11) නමැති පුතාද තුවාල ලබා ඇත.

පොලිස් සැරයන්වරයා ඔහුට අයත් අංක ඹඡ ශශ 3016 දරණ ත්‍රීවීල් රථයෙන් තම පියා, බිරිඳ සහ දරුවා සමඟ තණමල්විල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී නවයයි දහයට පමණ වැල්ලවාය දෙස සිට තණමල්විලට ධාවනය වෙමින් තිබූ ඹඡඡූ 4727 දරණ බොලෙරෝ වර්ගයේ කැබ්රථයක ත්‍රිරෝදය මුහුණට මුහුණලා ගැටී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝදයේ රියැදුරු සහ එහි සිටි තිදෙනා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර තුවාල ලැබූ ළමයා දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ළමයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කැබ්රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු බීමත්ව සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බව අනාවරණය වී ඇත.

මෙම අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් රැසක් වැල්ලවාය පොලිස් ස්ථානය අසලට පැමිණ කලහකාරී ලෙස හැසිරීම නිසා සැකකරු බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

මෙම තිදෙනාගේ මරණයන් පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (05 දා) වැල්ලවාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. කරුණාතිලක මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ. ජී. චන්ද්‍රතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක වැල්ලවාය – තණමල්විල මාර්ගයේ

advertistmentadvertistment
advertistmentadvertistment