උ. පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන්ට දිනකට රු. 2000 ක දීමනාවක් – රු. 2,900 ක ගමන් දීමනාවකුත්

141

අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීමේ කටයුතුවල යෙදෙන පරීක්‍ෂකවරුන්ට දිනකට රුපියල් 2,000 අවම දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මහා භාණ්ඩාගාරය සහ ජාතික වැටුප් කොමිෂන් සභාවේ එකඟතාව මත මෙම දීමනාව ගෙවීමට පියවර ගැනේ.

මීට අමතරව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව තම නිවාස හෝ නිත්‍ය සේවා ස්ථානයේ සිට විභාග පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයට ඇති දුර අනුව අඩුම දුරක් ඇති ස්ථානයේ සිට ඇගයීම් මධ්‍යස්ථානය වෙත දිනපතා කිලෝමීටර් 80 ට වඩා වැඩි දුරක් ගමන් ගන්නා පරීක්‍ෂකවරුන්ට සහ ඇගැයීම් මධ්‍යස්ථානය ආසන්නයේ නේවාසික පහසුකම් නොමැති පරීක්‍ෂකවරුන්ට දිනපතා රුපියල් 2,900 ක දීමනාවක් ගෙවීමටත් පියවර ගෙන ඇත.

ඒ අනුව 2022 (2023) අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්‍ෂකවරුන් බඳවා ගැනීමේ අයැදුම්පත් භාරගැනීම මෙම මස 18 වැනිදායින් අවසන් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment