උමාඔයේ ගිවිසුමේ හිලක්

2659

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක් ඉදිරිපත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමේ දී රජය වෙත අමතර වියදමකින් තොරව දිර්ඝ කරනු ලබන කාලසීමාවේ දී සියලු ඉදිකිරීම් නිම කර ව්‍යාපෘතිය විධිමත්ව රජය වෙත භාරදීමේ කොන්දේසිවලට යටත්ව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි.

එහෙත් එම කොන්දේසිය පිළිබඳ සැලකිල්ලක් දක්වා නොතිබුණි. ඒ පිළිබඳ නොසලකා කොන්ත්‍රාත්කරු වෙත කාල දීර්ඝයන් ලබා දී තිබුණි. මේ නිසා ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව ගණනය කොට කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව කොන්ත්‍රාත්කරුගෙන් අය කර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක් ඉදිරිපත් කර තිබූ නමුත් එම කිසිදු අවස්ථාවක මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට 2015 නොවැම්බර් මස 15 දින සිට 2023 ජුනි මස 30 දක්වා ව්‍යාපෘති කාලය දීර්ඝ කර තිබුණි. කොන්ත්‍රාත් ගිවිසුම අනුව දිනකට කොන්ත්‍රාත් විටිනාකමින් සියයට 0.01 වශයෙන් උපරිමය සියයට 5 දක්වා ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 26.453ක මුදලක් අය කළ හැකිව තිබුණ ද එම ප්‍රමාද ගාස්තු අය කර ගෙන නොතිබුණි. ප්‍රමාද ගාස්තු ලෙස කොන්ත්‍රාත්කරුගෙන් අය කර ගෙන ඇත්තේ ඩොලර් මිලියන 6.6ක මුදලකි. මෙකී ව්‍යාපෘතිය ප්‍රමාද වීමට හේතු ලෙස වාරිමාර්ග අමාත්‍යංශය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ජල කාන්දුව, කොවිඩ් වසංගතය, සහ නොයෙකුත් අවිනිශ්චිත තත්ත්වයන් ඇති වී තිබෙන බවය. ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය වසර 08කි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment