විභාගයට පෙර කෝවිල් ගිය සිසුවා මරු සමග යයි

294

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පෙර ආගමික චාරිත්‍ර ඉටුකිරීමට කෝවිලකට ගිය බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති ශිෂ්‍යයකු ඊයේ (06දා) උදෑසන නොසිතු ලෙස මරුමුවට පත් විය. ආර්. හරිනාත් නමැති මෙම සිසුවා තම පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත යන අතරතුර කෝවිලට ගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

ප්‍රදේශයේ තිබුණු කෝවිලට ගියවිට එම අවස්ථාවේදී පපුව රිදෙන බව තම පියාට පැවසූ හරිනාත් එම ස්ථානයේ බිම ඇලවී තිබේ. ආගමික චාරිත්‍ර ඉටුකිරීමටත් පෙර ඔහු හදිසියේ අසනීපව තිබේ.

ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියකුගේ ද උදව්වෙන් ත්‍රිරෝද රථයකින් මාරතැන්න ප්‍රාදේශීය රෝහලට, සිසුවා ඔහුගේ පියා විසින් ගෙනැවිත් තිබේ.

නමුත් රෝහලට ඇතුළත් කරන විටත් හරිනාත් අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව රෝහලේ බලධාරියකු කීවේය. පින්නවල, පුදුකාටුව නාවලර් දෙමළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගය ලිවීමට නියමිතව සිටිය ද විභාග මධ්‍යස්ථානය වෙත පැමිණීමටත් පෙර ජීවිතයෙන් සමුගෙන ගියේය. මාරතැන්න දෙතනගල දෙමළ විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලැබීය.

මියගිය සිසුවාගේ මව වෙන්ව සිටි අතර පියාගේ රැකවරණය මැද හරිනාත් හැදී වැඩුණි. ඔහුට බාල සොහයුරියන් දෙදෙනෙකි. මියගිය සිසුවා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගත් බව ඔහුගේ පියා පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ දී ඊයේ (06දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

කහවත්ත – එල්. නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment