කිත්සිරි ඉහින් කනින් පත්තරකාරයෙක්

181

ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියෙකු තරමටම ශ්‍රේෂ්ඨ මිනිසෙකුද වූ කිත්සිරි නිමල් ශාන්තගේ අභාවයෙන් අනතුරුව සිය කර්තෘ මාණ්ඩලිකයකු වූ පියනන්ද මල්දෙණිය මෙවැනි සටහනක් ලිවීය.

“පතොක් දඩු දෙක තුනක ඡායාරූපයකට යටින්, එහි බොහෝ කටු තිබෙන්නේ යයි ලියා සටහන තමන්ගේ යයි නම පළකර ගන්නා කාලයේ මාධ්‍යවේදිහු මෙකල බොහෝ වෙති. විසි වසරකට මඳක් වැඩි කිත්සිරි නිමල් ශාන්ත යන්ගේ පුවත්පත් කලා ජීවිතයේ දී ඔහු අතින් ලියවුණු ලිපි ලේඛන සංඛ්‍යාව සු‘ථපටු නොවුණද” ඔහු සිය ලේඛන සමග තම නම භාවිතයට ගත් අවස්ථා ඇතොත් ඒ ඉතා අතළොස්සකි. එහෙත් ඔහුගේ හදිසි අභාවය සිදුවන අවස්ථාව වන විට මෙරට අති විශාල පාඨක පිරිසක් ඔහු හඳුනාගෙන සිටියේය.”

මල්දෙණිය විසින් ලියන ලද මෙම සටහන අප විසින් උපුටා ගන්නේ “අපේ කිත්සිරි මහත්තයා“ නමින් දුලාංජලී මුතුවාඩිය විසින් ලියන ලද කෘතියෙහි පෙර වදනෙනි.

මල්දෙණිය පවසන පරිදිම පුවත්පත් කලාවේදියකුගේ වටිනාකම මැනිය හැක්කේ නිරන්තරයෙන්ම ඔහුගේ නම පළවූ පමණින්ම හෝ “මම නම් වූ මාධ්‍යවේදියා“ පිළිබඳව තමා විසින්ම වාදනය කර ගන්නා ට්‍රම්ෆට්වල නාදයෙන් නොවේ.

ගහක් ගලක් ගානේ පුවත්පත් කලාවට ඩිප්ලෝමා ප්‍රදානය කරන පාඨමාලා නොතිබූ කාල පරිච්ඡෙදයක කිත්සිරි නිමල් ශාන්තගේ පරම්පරාව පුවත් පත් කලාවට එක් වූයේ එය බඩ වියත රැක ගැනීමේ හෝ තම ප්‍රතිරූපය පුම්බා ගැනීමේ ම‘ගක් සේ සලකා ගෙන නොවේ. මා අසා ඇති පරිදි විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදැරූ කිත්සිරි ඒ වන විට බඩ වියත පමණක් නොව, ජීවිතයේ හතර කොන ජයගත හැකි බැංකු රැකියාවකටද පිය නගා තිබිණි.

ජනතාව වෙනුවෙන් ජනතාවටම වගකිව යුතුය යන අප්‍රකාශ්‍රිත ගිවිසුමකින් බැඳුම්ගත් පුවත්පත් කලාව නම් දුෂ්කර මාර්ගය තුල සැබෑ පුවත්පත් කලාවේදියකුට ලැබිය හැක්කේ තම පෑන් තුඩගින් එකී මෙහෙවර නිසි පරිදි ඉටු වූවාය යන තෘප්තිය පමණි.

ඒ සඳහා ඔහු තමාගේ ප්‍රධානම අවිය වන භාෂා දැනුමින් ද, ලේඛන ශක්‍යතාවයෙන් ද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු ලෙස සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරිමේ හැකියාවෙන්ද සන්නද්ධ විය යුතුය. කිත්සිරි එවැන්නෙකි.

මාර්ටින් වික්‍රමසිංහ සහ ඩී.බී. ධනපාලලාගේ පරම්පරාවේ සිට බී.ඒ. සිරිවර්ධන සහ දයාසේන ගුණසිංහලා රැගෙන ආ බැට්න් එක අතට ගත් වත්මන් පරපුරේ ප්‍රමුඛයෙකු වශයෙන් ඔහු හැඳින්විය හැක්කේ එහෙයිනි.

පත්තර කලාවේ යෙදෙන්නෙකුගේ ප්‍රධාන අවිය වූ භාෂාව පිළිබඳව අප දන්නා තරමින්, නොඑසේ නම් අත්දුටු පමණින් මේ කෙෂ්ත්‍රයේ සිටි එක් පඩිවරයෙකු වූයේ ඔහුය. මගේ අත්දැකීම් අනුව නම් මා දුටු එකම පඬිවරයාය. නමුත් ඔහු මේ භාෂා ඥානය ලබා ගන්නේ ස්වොත්සාහයෙනි. එම දැනුම ඔහු විසින් කොතෙක් දියුණු තත්ත්වයට පත්කර ගත්තේද යත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් පවසන පරිදි සිංහල මහාචාර්යවරුන් සමඟ භාෂාව පිළිබඳ පුවත්පත් වාදවලට එළඹීමට සමත් වූ අපේ පරම්පරාවේ එකම පත්‍ර කලාවේදියා වූයේ කිත්සිරි ය.

මේ නිසාම පුවත්පත් කලාව තුළ ඔහු මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය වූයේ භාෂාව විනාශ කරන්නන්ට එරෙහිව ගෙනගිය සටනය. ඔහුගේ සමකාලීන සගයකු වූ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ජයන්ත චන්ද්‍රසිරි පැවසුවේ පුවත්පත් කලාවේදී භාෂාව විනාශ කරන්නන්ට ඔහු අතින් පයින් නොගැසුවා පමණක් බවය. එවැනි ලිපියක් ඔහු අතට පත් වූ විට එය කුණු කූඩයට වැටුණා උඩින් පියෑඹූ බවද ඔහු පවසයි.

මේ අයුරින් දැඩි සංස්කෘතික මිනිසෙක් වූ ඔහු සමාජයේ පවතින අසංකෘතික බවට එරෙහිව නිරන්තර අරගලයක යෙදුණා පමණක් නොව එය සිය මරණය දක්වාම රැගෙන ගියේය.

මෙම ලිපියේ ඉහත සඳහන් කළ පරිදි ඔහු විසින් ලියන ලද බොහෝ දේ අතර, ඔහුගේ නම දක්නට නොලැබුණද පෙර කී සිය ආත්ම ප්‍රකාශනය නිරන්තරයෙන් ගැබ්වූ තිබුණි. එය ප්‍රධාන වශයෙන් ප්‍රකට වූයේ ඔහු විසින් ලියන ලද දහස් ගණනක් වූ කතුවැකි තුළිනි. මේ තූළින් සමාජය කෙරෙහි ඔහු තුළ වූ ප්‍රේමය, කෝපය, කළකිරීම මෙන්ම ශෝකයද ඉතා තියුණු ලෙස විද්‍යාමාන වූ බව පැවසිය යුතුය.

කතු වැකිය හැරුණුකල ඔහු විසින් විටින් විට ලියන ලද ලිපි හැරුණ කල දිනපතා දිවයින පුවත් පතෙහි ඔහු විසින් සංස්කරණය කළ බදාදා සාහිත්‍ය අතිරේකය පමණක් ම වුවද කිත්සිරි නම් පත්‍ර කලාවේදියා කවරෙක්දැයි දැන ගැනීමට ප්‍රමාණවත්ය.

මෙම අතිරේකය පුවත් පත කෙරෙහි විශාල වටිනාකමක් ඇති කිරීමට පමණක් නොව, බදාදා දිනට එහි අලෙවිය වැඩි කිරීමට ද බලපෑ බව නොරහසකි. ඒතුළින් විශාල ලේඛක පිරිසකට මතු වෙන්නට ඉඩ සලසා දුන් ඔහු, මාගම් තෙන්නකෝන් නම් පුවත් පත් කලාවේදියා ලවා ලියවූ “දිවි සයුරෙන් දිය දෝතක්” ලිපි පෙළ තරම් රසවත් අත්දැකීම් සම්භාරයක් එදාමෙදා තුර සිංහල පාඨකයින්ට කියවන්නට තවත් ලැබී ඇතිදැයි යන්න සැක සහිතය.

ඔහු නිරන්තරයෙන් අප රටෙහි සංස්කෘතිය පිළිබඳව ගවේෂණයක යෙදුණෙකි. පුවත්පත් කලාව අරබයා මේසා සේවයක් ඔහු අතින් සිදු වූයේ හෙයිනි. පත්තර කලාවේ දහසකුත් එකක් වැඩකටයුතු වල යෙදෙන අතරේම ඔහු විසින් ලියන ලද පුවත් පත් තීරු ලිපි රචනා පිළිබඳ නිබන්ධනය ද එහි විශිෂ්ට ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකිය.

පත්‍ර කලාවේ යෙදෙන අතරේම නව කතා ලිවීම, නාට්‍ය නිර්මාණය ආදී කටයුතුවලට සිය සගයන් යොමු වෙද්දී ඔහුගේ අවධානය යොමූ වූයේ ගීත රචනය කෙරෙහිය. එම ගීත කිත්සිරි විසින් රචනා කරන ලද ඒවා යයි අහම්බෙන් දැන ගත්තා විනා ඔහු ඒ ගැන අප හා වචනයකුදු පවසා නැත. ඒ හැරුණු කල එම ගීත ප්‍රචාරය කර ගැනීම සඳහා හෝ තම නාමය ඉස්මතු කර ගැනීම සඳහා හෝ පුවත්පත් කලාවේදියකු ලෙස තමන් සතුව පැවැති සිවිල් බලය හෝ සම්බන්ධතා කිසිවක් භාවිතා නොකළේය.

මේ කාරණය උදෙසා නොව අන් සෑම විටකදීම පවා ඔහු තම සිවිල් බලය ආභරණයක් කර ගැනීමෙන් වැළකී සිටියා පමණක් නොව, එය ආභරණයක් කර ගන්නන් කෙරෙහි තදබල කෝපයක්ද ඇතිකර ගත්තේය.

මෙවැනි ප්‍රතිපත්තියක රැඳී සිටිමින් වුවද ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත සහෘද රසිකයාගේ හදවත්හි තැන්පත් වූවේ ඒවා කලා කෘතීන් වශයෙන් සාර්ථක වූ බැවිනි.

නොබලන් කුමරිය – නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්,
ආදරයේ වේදනාව හදට දැණුන යම් දවසක – හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා,
රහසේ හඬනා අප හැඟුම්- ලොව නෑ දන්නේ අප පැතුම්
යන ගීත අදටත් අප මතකයේ රැඳී තිබෙන්නේ එම ගීත අපගේ හදවත් ස්පර්ශ කරන්නට සමත් වූ නිසා මිස කිත්සිරිගේ මිතුරුකමට අදාළව නොවේ.

මේ සියලු කාරණවලින් සුසැදි මිනිසකු වූ කිත්සිරි නිමල් ශාන්ත පුවත්පත් කලාවේදියකු සහ සංස්කාරවරයකු ලෙස විශිෂ්ටත්වයට පත්වීමේ පදනම ලෙස සැලකිය හැක්කේ ඔහු සතුව පැවැති බහුශ්‍රැතභාවයයි. සමාජය, දේශපාලනය, ආර්ථීකය පමණක් නොව, සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව ගැන වුවද යම් කරුණක් ගැන දැන ගැනීමට අප වෙන වෙනම පතපොත කියවිය යුතු වුවද, කිත්සිරි සමග අදාළ විෂය ගැන කතා බහක යෙදීමම ඒ ගැන දැන ගැනීමට ප්‍රමාණවත් වූයේය. ඔහු මේ සා මහා දැනුම් සම්භාරයක් කෝෂගත වූ පුද්ගලයෙකි.

කිත්සිරි නිමල් ශාන්ත නම් පුවත්පත් කලාවේදියාගේ විශිෂ්ටත්වයට තවත් හේතුවක් වන්නේ ඔහු සෑම විටම සමාජයට ඉදිරියෙන් සිටින පුවත්පත් කලාවේදියකු වීමය. අපට අද බොහෝ විට දක්නට ලැබෙන පරිදි සමාජය ලොකු කුඩා කඩදාසි මතට පොටෝ කොපිකර ඉදිරිපත් කිරීමේ පුවත්පත් කලාව ඔහු හෙළා දුටුවේය.

හැත්තෑවේ දශකයේ අග භාගයේදී පුවත්පත් කලාවට එකතු වූ කිත්සිරි “ගීතා” නම් සිනමා පුවත්පතෙහිද, “සත්දින” නම් ටැබ්ලොයිඩ් සතිඅන්ත පුවත්පතෙහි ද සේවය කිරීමෙන් අනතුරුව ප්‍රධාන කතුවරයකු ලෙස පුවත්පත් කලාවට එක් වන්නේ මල්ටි ෆැක්ස් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ “ඉරිදා” නම් සති අන්ත පුවත්පතෙනි. එහිදී ඔහුගේ සහකාර කර්තෘවරයා වූයේ ජයන්ත චන්ද්‍රසිරි ය. ඊළඟට සිටියේ අනුර සොලමන්ස් ය. එක කාමරයක් තුළ මේ තිදෙනා විසින් පුවත්පතෙහි සියලු කටයුතු නිම කරන ලද අතර, සුන්දර නිහතමනී ද මැල්, සයිමන් නවගත්තේගම, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, සිරිලාල් කොඩිකාර, පරාක්‍රම කොඩිතුවක්කු යන ලේඛකයින් විසින් සිය නිර්මාණ දායකත්වය “ඉරිදා” පුවත් පතට ලබා දුන්හ.

වාර්තාකරුවන් ලෙස කරුණාරත්න මදුරප්පෙරුම සහ සිරිසේන රාජපක්ෂ කටයුතු කළ අතර ඇන්ටන් ජෝ ඡායාරූප ගැනීමෙන්ද, පුලස්ති එදිරිවීර චිත්‍ර ඇඳීමෙන් එහිදී කිත්සිරිට සහය වූහ.

ඉක්බිති දිවයින පුවත්පතේ ආරම්භයත් සමග මේ තිදෙනාම එහි රැකියාවට බැඳුණු අතර විශේෂාංග කතුවරයා වශයෙන් පෙර කී වැඩ කොටස ඔහු අතින් ඉටු වූයේ එහිදීය.

පත්තර කලාවට පිවිසීමේ මූලිකම සුදුසුකම ලෙස තමන් විසින් හදාරන ලද ජනමාධ්‍ය පාඨමාලා සහතිකය පමණක් ඉදිරිපත් කරන තරුණ පරපුර ගැන ඔහු අසීමිත කනගාටුවෙන් යුතුව කතා කරනු ලැබුවද, ඔවුන් හෙළා දැකීමෙන් වැළකී සිටියේය. මක්නිසාද යත් එය පවතින සමස්ත සමාජ ඛේදවාචකයේම එක් ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් වටහා ගෙන සිටි බැවිනි. නමුත් ඔහු ප්‍රතිභාසම්පන්නයකු දුටු සෑම විටම ඔහුට අත දුන්නේය. “ප්‍රතිභාව දුටු තැන ආරක්ෂා කරනු” යන ඇන්ටන් චෙකොෆ්ගේ කියමන ඔහු අකුරටම පිළිපැද්දේය.

මේ ආකාරයට අප වැඩි දෙනෙකුගේ ජ්‍යෙෂ්ඨයකු වූවා හැරුණු විට බොහෝ උපදෙස් නිරායාසයෙන් ලැබුණු අපගේ ගුරුවරයකු බවට ද පත් වූ කිත්සිරි 2000 දී ලක්බිම පුවත්පතට සම්බන්ධ වන්නේ දිනපතා ලක්බිම පුවත්පතෙහි සම කර්තෘවරයා ලෙසය. ආරම්භයෙහි එහි ප්‍රධාන කතුවරයා වූයේ ඩී.බී. වර්ණසිරි ය.

එහි ආරම්භයේදීම උප කර්තෘවරයකු වශයෙන් පුවත්පතට සම්බන්ධ වූ මා හට ඉතා පැහැදිලිවම දක්නට ලැබුණ කාරණය වූයේ සංවේදී මිනිසකු මෙන්ම හෘද රෝගියකුද වූ කිත්සිරිට කිසිසේත්ම දරාගත නොහැකි පරිසරයක් කර්තෘ මණ්ඩලය තුළ ඇතිවෙමින් පවතින බවය. අවාසනාවන්තම සහ පුදුම සහගත කරුණ වූයේ කිත්සිරිට මෙම පීඩනයන් එල්ල වූයේ හාම්පුතුන්ගෙන් නොව තමන් සමග සහ තමා යටතේ වැඩ කළ සගයන්ගෙන්ම වීමය. දිනපතා ලක්බිමෙහි කිත්සිරිට එරෙහිව පීඩනය දැඩි වෙන මොහොත වන විට මා ඉරිදා ලක්බිමට අනුයුක්ත කර සිටි නමුදු, එක්තරා දේශපාලන පෙරළියක් සමග කිත්සිරිගේ කාමරය වෙතටම ගොස් ඇතැමුන් ඔහුට දෝෂාරෝපණය කළ අයුරු මම දැක තිබුණෙමි. කෙසේ වුවද කිත්සිරි මියගිය මොහොතේදී කළින්ම කඳුළු හලනු මා දුටුවේද මොවුන්ගෙන් දෙදෙනෙකි.

කිත්සිරිගේ අභාවයෙන් අනතුරුව වසරක් පාසා හෝ වසරකට දෙවරක් ඔහු පිළිබඳව ලියවෙන අනුස්මරණ ලිපි මම කියවා ඇත්තෙමි. ඒ සියල්ලෙහිම වූයේ කොන්ද කෙළින් තබාගෙන ලියන්නට කියා දුන් තවත් හිත හොඳ මිනිසෙකුගේ නික්ම යෑම පිළිබඳ සුපුරුදු කතාවය.

නමුත් කිත්සිරිගේ අභාවයෙන් වසර 11 සපිරෙන දිනක අනුර හොරේෂස් සිය ලිපියෙන් මෙම නින්දිත භයානක කටුක යථාර්ථය හෙළිකර තිබුණේ ඔහු කිත්සිරි නිමල් ශාන්තයන්ට දැඩි ලෙස ආදරය කළ පුද්ගලයෙකු වූ බැවිනි. ඒ පත්තර රස්සාවක් සොයා යන ගමනේදී සෑම කන්තෝරුවකින්ම ප්‍රතික්ෂේප කරන ලද තමාව වැඩට ගෙන අතින් පඩිගෙවා පෝෂණය කළ මිනිසාව අමතක නොකිරීමේ උදාර ගුණය ඔහු තුළ වූ බැවිනි. ජීවත්ව සිටියදීද කිත්සිරිව පීඩාවට පත්කරන්නටද ඇතැමුන් දායක වූ බව කියන ඔහු, සුන්දර නිහතමානී ද මැල් ඉදිරිපත්ව මේ මඩ ගැසීම් බොහොමයක් වළකා ලූ බව පවසයි.

අනුර හොරේෂස් සිය සටහන අවසන් කරන්නේ ද කිත්සිරි මිය ගියා නොව පවිටු දේශපාලන විසින් හදවත් රෝගී ඔහුගේ ජීවිතය උදුරා ගත්තේය යනුවෙන් සටහන් කරමිනි.

දෛවෝපගත ලෙස ඔහුගේ දිවි ගමන එලෙස නිම වුණද ඔහු දවසේ පැය 24 මුළුල්ලේම එහි වූ විවිධ ධාරාවන් ආශ්වාදනය කරමින් සිටි අයෙකි. විසි හතර පැය මුළුල්ලේ ඔන් කෝල් ඩොක්ටර් කෙනෙකු මෙන් ඔහු සිය වෘත්තීය සඳහා අවධානය යොමු කර තිබිණි. සමාජය මෙහෙයවන නියාමක බලවේගයන්ගෙන් පෝෂණය වෙමින් ඔහු සිය පත්තර කලාව ද පෝෂණය කළේය.

කිත්සිරි නිමල් ශාන්තගේ ළඟින්ම සිටි වෘත්තීය සගයා මෙන්ම කලණ මිතුරෙකුද වූ ජයන්ත චන්ද්‍රසිරි වරක් පැවසුවේ කිත්සිරි ඉහින් කනින් පත්තරකාරයකු කියාය.

මෙවැනි වූ මිනිසකුට ඉන් ඔබ්බෙහි වෙනත් හැඳින්වීමක් තිබිය හැකිද?

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment