සිසුවිය වැටුණු අවන්හල අනවසර ඉදිකිරීමක් – නගර සභාවට පැමිණිලි

1192

කළුතර නගරයේ පස්මහල් අවන්හලක තුන්වැනි මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය පිළිබඳ සිදු කරන විමර්ශනවලදී එම ගොඩනැඟිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස කළුතර නගර සභාවට පැමිණිලි ලැබෙමින් පවතින බව එම නගර සභාවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

පාසල් සහ ආගමික ස්ථාන ආසන්නයේ පර්චස් 1 1/2 ක පමණ බිම් කොටසක මෙම හෝටලය ඉදිකළේ කෙසේ දැයි ඊයේ වන විටත් කළුතර නගර සභාවට විමසීම් ලැබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කළුතර නගර සභාව පවසන්නේ මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා නගර සභාව අනුමැතිය ලබාදී නැති බවයි.

මේ අනුව මෙම සිද්ධිය පිළිබඳ අදාළ ගොඩනැඟිල්ලේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නගර සභාවේ ප්‍රකාශකයා පැවසීය.

මෙම නගර සභාවේ විශේෂ කොමසාරිස්වරිය වන ආර්. ඒ. රණසිංහ මහත්මිය කීවේ අදාළ ගොඩනැඟිල්ල තැනීම සඳහා නගර සභාවේ අනුමැතිය ලබාගෙන නැති බවයි.

කළුතර නගර සභාවේ හිටපු නගරාධිපති අමීර් නසීම් මහතාගෙන් ද දිවයින කළ කරුණු විමසීමකදී හෙතෙම කියා සිටියේ මෙම ගොඩනැඟිල්ල වසර ගණනාවකට පෙර තනන ලද එකක් බවයි.

මෙම ගොඩනැඟිල්ල පිහිටා තිබෙන ආකාරයට කිසිවකුට එය තැනීමට අවසර නොදෙන බවත්, මෙවැනි අනවසර ඉදිකිරීමක් සභාපතිවරයකුට තනි මතයට අනුමත කිරීමට නොහැකි බවත් හෙතෙම කීවේය. මෙවැනි ගොඩනැඟිල්ලක් සඳහා අනුමැතිය දීමට පස්දෙනකුගෙන් සමන්විත කමිටු මණ්ඩලයක් සිටින බව ද, මෙය තමාගේ පාලන සමයේ ඉදිකළ එකක් නොවන බව ද සභාපතිවරයා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment