විසිරවූ පළාත් සභා මුදල් ගිලී : චක්‍රලේඛ නොතකා හැරලා

268

පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒවායෙහි ප්‍රධාන නිලධාරීන් වියදම් සීමා කිරීමට නිකුත් කර ඇති රජයේ චක්‍රලේඛ නොතකා හරිමින් විවිධ ව්‍යාපෘති සහ වැඩමුළු ආදිය සඳහා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇතැයි රජයේ විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විගණනයේදී හෙළිවී තිබේ.

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විගණනවලදී හෙළි වී ඇත්තේ මෙම පළාත් සභාවල විවිධ සමුළු, වැඩමුළු පැවැත්වීම සඳහා රුපියල් ලක්‍ෂ 40, ලක්‍ෂ 50 ආදී වශයෙන් හෝටල් සඳහා ගෙවා ඇති බවයි.

මීට අමතරව බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්‍ෂ 54ක මුදලක් වැයකර ඩ්‍රෝන කැමරාවක් මිලදීගෙන ඇත. කොළඹ නගරයේ තට්ටු ගොඩනැගිලිවල මදුරුවන් නිරීක්‍ෂණයට එය මිලදී ගත්තත් එය පසුගිය වසරේදී භාවිතා කර ඇත්තේ දෙතුන් වතාවක් පමණකැයි විගණනයේදී හෙළිවී ඇත.

කොළඹ යම් ප්‍රදේශයක ‘මාළු ටින්’ කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට අවශ්‍ය මැෂින් ඇතුළු උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි පහක මුදලක් වැයකර ඇත. එම මැෂින් තොගය මේ වනවිට දිරාපත් වීමට තබා ඇතැයි ද විගණන විමසුම්වලින් පෙනී ගොස් තිබේ.

පළාත් සභා නවයේම ඇතැම් ගනුදෙනු ඉතා දූෂිත අන්දමින් සිදුවී ඇතැයි ද අදාළ නිලධාරීන්ට අධිභාර පැනවීමට හෝ යම් දඬුවමක් පැනවීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි ද හෙතෙම කීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ‘විගණන කොමිසම’ යළි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කිරීම නිසා රජයේ විගණනයද ‘වාර්තා’ වලට පමණක් සීමා වී ඇතැයි විගණන නිලධාරීහු පවසති. මෙනිසා ‘විගණන කොමිසම’ යළි ස්ථාපිත කරන තුරු දූෂිත නිලධාරීන්ට අධිභාර පැනවීමට නොහැකි වී ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් 01 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 2022.04.26 දිනැති අයවැය චක්‍රලේඛ 03/2022 සමගාමීව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල වියදම් කළමනාකරණයට අදාළ යෝජනාවට අනුමැතිය පළවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment