අපගේ වැනි (මේ වැනි) කාලයක ප්‍රබන්ධයකට කුමක් කළ හැකි ද? කිසිවක් නැත. ඒ තමයි එම ප්‍රශ්නයට දිය හැකි වඩාත් දැනෙනසුලු, එසේම වඩාත් අශුභදායී පිළිතුර. අපට ඒ ප්‍රශ්නයට ඒ ආකාරයෙන් පිළිතුරු දිය හැකි නම් (එය වාගාලංකාර විදහා පෑමක් නොවේ නම්) අප වහාම මේ පාඨ නිශේධනය කළ යුතු ය. මේ සාහිත්‍ය උත්සව අහෝසි කළ යුතු ය. එසේම සාහිත්‍ය නිර්මාණකරණය ද නවතා දමා අපි මුල්ලකට වී ඔළුව ඔබාගෙන ලෝකය අවසානය උදාවන තෙක් බලා සිටිය යුතු වෙමු. අප ලෝකය පිළිබඳ කතාන්දර කීම නවතා දමන්නේ නම් ඒ ලෝක අවසානය සැබැවින්ම අත ළඟ නිසා ය.

මෙය උපුටා ගත්තේ (2023.12.10 දා) සති අන්ත පුවත්පතක පළව තිබූ ‘නපුරු සිහින සැබෑ නොවනු පිණිස’ නම් වූ ලිපියකිනි. සාහිත්‍යකාමී සියල්ලන් තුළ බරපතළ තිගැස්මක්, කම්පනයක් මෙන් ම බලාපොරොත්තුවක් ද ජනිත කරවනසුලු වූ ඉහත ප්‍රකාශය එළිදක්වා තිබුණේ ගියෝර්ගි ගොස්පොදිනොව් (Georgi Gospodinov) නම් වූ බල්ගේරියානු ජාතික සම්මානලාභී ලේඛකයා ය; කවියා ය. ඔහු පිළිබඳ වැඩිමනත් තොරතුරු සොයායෑමේ උත්තේජනය, ඒ සඳහා කිසියම් මෙහෙයුමක් දියත් කිරීමට අප පෙළඹවූයේය. අපගේ නිසැක විශ්වාසය වන්නේ සැබෑ සාහිත්‍යලෝලීනට එය වැදගත් වන බව ය.

ගියෝර්ගි ගොස්පොදිනොව් කියන්නේ මේ දිනවල යුරෝපයේ (සාහිත්‍යයික) අවධානයකට ලක්ව සිටින කවියකුට හා ප්‍රබන්ධ රචකයකුට ය. ඔහු මේ වසරේ බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ (කොවිඩ් සමයේ ලියා පළ කළ) TimeShelter නම් වූ කෘතිය සඳහා ය. සතිඅන්ත පුවත්පතකින් මා දුටු ලිපියට පාදකව තිබුණේ (ඉකුත් ඔක්තෝබර් 23 දා) ලැන්කැස්ටර් අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයේදී ප්‍රබන්ධ සාහිත්‍යයේ ගැබ්ව ඇති ජීවිත බේරා ගැනීමේ අසිරිමත් ශක්තිය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද දේශනයක සංක්ෂිප්තයකි. (words without Borders වෙබ් අඩවියේ එය පළව තිබුණේ නොවැම්බර් 3 වැනිදා ය.) මේ ලිපියෙන් කෙරෙන්නේ ඔහුගේ දේශනය වාර්තා කිරීම නොවේ. ඉන් පැනනගින (සාහිත්‍යයික) කරුණු විමසීමකි.

සාහිත්‍යයට ජීවිතයක් බේරාගත හැකි ද?

ජීවිත බේරාගැනීමේ ලා ප්‍රබන්ධ සාහිත්‍යයේ ඇතැයි කියන අසිරිමත් ශක්තිය පිළිබඳ කුතුහලාත්මක උනන්දුව ද සමඟින් මේ ලිපිය කියවාගෙන යද්දී අපට සිතුණේ සිනාසී අඬන්නටය. (ළදරු සිදුහත් කුමරුන්ගේ අනාගතය දුටු අසිත තවුසා එදා කළේ ද සිනාසී හැඬීම ය.)

අනෙක් අතට සිතුණේ හඬ-හඬා සිනාසෙන්නට ය. ඒ සාහිත්‍යයට අලුත්ම දොරටුවක්, සාහිත්‍යකාමිනට නව මානයක් මේ අපූරු නිර්මාණකරුවා විසින් විවර කරනු ලැබ ඇති බවක් පෙනී ගිය නිසා ය. සාහිත්‍යයට, කතන්දරයට, විශේෂයෙන් ප්‍රබන්ධයට සරල ආශ්චර්යයන් පෑමේ හැකියාවක් ඇත්තේ යැයි ඔහු කියයි. මේ කාලයේ ජීවත්වන අතිමහත් බහුතරයකට සිතාගන්නටවත් බැරි, සාහිත්‍යයේ මේ ආශ්චර්යය කුමක් ද?

මේ අසිරිය හා බැඳුණු ප්‍රථම අත්දැකීම තමාට ලැබෙන්නේ වයස අවුරුදු හයේදී හෝ හතේදී යැයි ගියෝර්ගි කියයි. ඒ අතීතය ද කතන්දරයකි. ‘මම නපුරු සිහිනයක් දකිමින් සිටියෙමි’ යි කියන ඔහු එය බෙහෙවින්ම බියකරු වූ අයුරින්ම රාත්‍රියක් රාත්‍රියක් පාසා ඒ අසුබ සිහින තමා හඹා ආවේ යැයි ද පවසයි. මේ කාලයේ දී ඔහු ගම්මානයක ජීවත් වූයේ ආත්තම්මා ද සමඟ ය. නපුරු සිහින ගැන අත්තම්මාට පැවසිය යුතු යැයි එක් උදෑසනකදී ඔහුට සිතෙයි. එහෙත් මුව විවර කළ සැණින් ඔහුට බාධා පමුණුවන්නේ ද ආත්තම්මා ම ය. ඇය ඔහුට ‘එපා’ යි කියන්නේ දෙතොල මත ඇඟිල්ලක් තබා කරන සංඥාවකිනි. භයංකර සිහින සැබෑවීමේ සම්භාවිතාවක් ඇතැයි ඇය සිතා සිටියි. ඉතින් සිහින සමඟ හුදෙකලාවීම තරමක් බිහිසුණු හා දුෂ්කර කාර්යයක් වන නිසා ඔහු කරන්නේ සීයාගේ සටහන් පොතකින් හොර රහසේම කොළයක් කඩාගෙන නපුරු සිහින එහි අමුණා (ලියා) තැබීම ය. ඇල්කෙමිස්ට් නවකතාවේ එඬේර කොළුවාට මෙන් ඔහුට සිය ආශ්චර්යය අත්පත් කරගත හැකිවන්නේ ඒ චෞර ක්‍රියාකාරකම ඔස්සේ ය. කඩදාසියේ අමුණා තැබූ නපුරු සිහින ඉන්පසු ඔහු හඹා එන්නේ නැත. ලිවීම අප භීතින්ගෙන් මුදා ගනියි යනුවෙන් ඔහු සටහනක් තබන්නේ ඒ අනුව ය. ලිවීම, මතකය උත්පාදනය කරන බව ඔහු පවසන්නේ ද අත්දැකීම් පාදකව ය. යුගයේ ප්‍රවණතා කෙරෙහි සංවේදී වන ඔහු, අප ජීවත්වන්නේ තවදුරටත් කේන්ද්‍රයක්, පරිධියක් හඳුනාගත නොහැකි ලෝකයක යැයි කියයි. නැගෙනහිර යුරෝපයේ රුධිරය ගලායමින් ඇති අයුරු සිහිගන්වයි. මිනිසාගේ අසංස්කෘතික ලක්ෂණ යුදගිනි ද සමඟින් වරින්වර ඇවිළ යමින් පවතී. ඊශ්‍රායලයට විවිධ චෝදනා එල්ලවෙමින් ඇති මේ කාලවකවානුවේදී ද අපට නිරතුරුවම සිහියට නැගෙන්නේ ඊශ්‍රායලයට සම්බන්ධකම් ඇති යුවාල් නො ආ හරාරි නම් වූ විශිෂ්ට (නූතන) ඉතිහාසඥයා මානව පරිණාමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අවධාරණයන් ය. පාරිශුද්ධ විද්‍යාත්මක කෝණයකින් බලන කල මිනිස් ජීවිතයේ නියත වශයෙන්ම අරුතක් ඇත්තේ නැත; මිනිසුන් යනු කිසිදු ඉලක්කයකින් තොරව ක්‍රියාත්මක වූ අන්ධ පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පමණකි යනු ඔහුගේ අවධාරණයකි. සාහිත්‍යය නෙත් ලබාදෙන්නේ ඒ අන්ධභාවයට යනු අපගේ පෞද්ගලික අදහසකි.

සාහිත්‍යයට, කතන්දරයට මෙවැනි කැළඹිළි සහගත කාලවකවානුවක කළ හැක්කේ වෙන කුමක් ද යන ප්‍රශ්නය මතුකරන්නේ ගියෝර්ගි ය. යුක්රේනයට එරෙහි යුද්ධය මාස දොළහක් ඉක්මවමින් තිබියදී, ප්‍රචාරණ කාලතුවක්කු ද ඊට සමගාමීව ක්‍රියාත්මක වෙමින් පවතින සන්දර්භයක් තුළ මිනිසාගේ සිතුවිලි, මතිමතාන්තර දුර්වල කරන මාධ්‍ය ප්‍රචාරණ, ජාතිවාදී කෝලාහල යන සියල්ල, මිනිසා මනුෂ්‍යත්වයෙන් ඉවතට අදිමින් ඇති අයුරු ඔහු පෙන්වා දෙයි.

සැබෑ ලේඛකයා, නිර්මාණකරුවා සම්බන්ධයෙන් අප තුළ චිත්‍රණය වී තිබූ සිතුවම මූර්තියක් බවට පත්කිරීමට ගියෝර්ගි සමත් වූයේ යට දැක්වෙන අදහස ඔස්සේ ය. ලේඛකභාවයේ (අසංවිධිත) තථ්‍ය ස්වරූපය ඔහු නිර්වචනය කරන්නේ මෙලෙසිනි.

මා විසින් ඇති නොකළ අර්බුදයක් ගැන ලේඛකයෙකු ලෙස කතා කිරීමට මට මෙහි ආරාධනා කර ඇත. මමවත්, සමස්ත ලේඛක සංසදයවත්, මෙහි ඉන්න පිරිසවත් පාඨකයෝ සහ ප්‍රකාශකයෝ නොවෙති. සම්භාව්‍ය අවස්ථාවෙහිදී, ලේඛකයින් සහ මුදල් යනු තරමක් තුහීන සබඳතා සඳහා විනාශ වූ ආයතන දෙකකි. අපි එකිනෙකාට සුබ පතන්නෙමු. මූල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ මගේ අත්දැකීම් අඩු බව වහාම පිළිගත යුතුය. මම කවදාවත් බැංකුවකින් ණයක් ලබාගෙන නැහැ. පළමුව මම එවැනි ආයතන පිළිකුල් කරන නිසා. දෙවනුව ඔබ දන්නා පරිදි ලේඛකයකු වැනි නිදහස් හා තරමක් නිෂ්ඵල වෘත්තියක නිරත පුද්ගලයෙකුට කිසිදු බැංකුවක් ණයක් නොදෙන නිසා…

මේ වූ කලී ඡායාවක්, සෙවණැල්ලක් ලෙස අපගේ සිහිනයන්හි සැරිසැරූ සැබෑ ලේඛකයාගේ අවතාරයයි. එය අප තුළ විවිධ රූප මවයි. සාහිත්‍යය – මොන සාහිත්‍යය දැයි ඔහු අසයි. සාහිත්‍ය සම්භාෂණයේ දේශන සඳහා යුරෝපීය මූල්‍ය විශේෂඥයන් හයදෙනෙක් කැඳවා ඇති අයුරු ඔහුට පෙනී යයි. ශ්‍රවණාගාරය පිරී පවතින්නේ (සාහිත්‍ය) අරමුදල් වෙළෙඳපොළට බලපාන ආකාරය ඇතුළු පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ඇස් දල්වා සිටින ප්‍රමුඛපෙළේ ආර්ථික විශේෂඥයන්ගෙනි. ‘බැංකු කරුවන්, ව්‍යවසායකයන් හෝ තැරැව්කරුවන්, නවකතාවක් හෝ කාව්‍ය සංග්‍රහයක් මත පැය ගණන් පොරොත්තු වෙමින් චෙකොව්, ජොයිස් සම්බන්ධයෙන් උණුසුම් විවාදවල පැටළී තිබෙනු අප දැක නැත’ යනු ද ඔහුගේ ප්‍රකාශයකි.

එහෙත්..? ඉක්මනින් හෝ පසුව හෝ සෑම දෙයක් ම, සෑම භූමියක් ම සාහිත්‍යයේ විෂයය බවට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු විශ්වාසය පළ කර සිටී. ඔහු එසේ කියන්නේ ‘සාහිත්‍ය පැත්තේ සිටින ලේඛකයන්, පාඨකයන් වන අපි, අපගේ පරාජය යම්තාක් දුරකට පිළිගෙන සිටිමු’ යන්න ද අවධාරණය කරමිනි. පොතක් කියන්නේ කුමක් ද? එය ජංගම දුරකතනයකට හෝ ක්‍රීඩා මධ්‍යස්ථානයකට වඩා වැදගත් ද? වැනි ප්‍රශ්නයක් ද ඒ හා සමඟම මුදාහැරෙයි.

මේ රටේ ටොරින්ටන් චතුරශ්‍රය නම් වූ භූමිභාගය වටා ගමන් කරන්නකුට මේ ප්‍රශ්නයට කිසියම් පිළිතුරක් සම්පාදනය විය නොහැකි දැයි ඒ සමඟම අපට සිතෙයි. චතුරශ්‍රයේ මාවත් දෙපස ඉදිවූ සුවිසල් ගොඩනැගිලි, පිට්ටනි බොහෝ ය. ඒ බොහොමයක් ඉදිව ඇත්තේ ක්‍රීඩාව ප්‍රස්තුතව ය.

එහෙත් සාහිත්‍යය යන අකුරු හතර සහිත පුවරුවක් පවා මේ දූවිලි නගරයේ කොතැනකින් හෝ ඇසට හසු කර ගැනීම අපහසු ය. සාහිත්‍ය කන්න දැයි සිතා සිටින අතිමහත් බහුතරය සාහිත්‍යය ගැන කතාකරන එකම එක මාසය වන්නේ සැප්තැම්බරයයි.

සාහිත්‍යය, ප්‍රබන්ධය යැයි කියන්නේ අසත්‍ය, අසත්‍ය හිතලු වශයෙන් ඇතැමුන් කර ඇති වර්ගීකරණය බරපතළ වැරදි වැටහීමකියි හඳුනාගෙන සිටින්නේ ගියෝර්ගි ය. ඔහු විශ්වාසය පළකරන්නේ ප්‍රබන්ධය, මිථ්‍යාවක් නිර්මාණය කර යථාර්ථයට ඉන් අර්ථයක් ලබා දෙන බවට ය.

සාහිත්‍යයට ජීවිතයක් බේරාගත හැකි ද?

සාහිත්‍යයට ජීවිතයක් බේරාගත හැකි ද?

ඒ සඳහා නිදසුන් සැපයීමට ඔහු කරළිය වෙත කැඳවන්නේ අරාබි නිසොල්ලාසයේ අඛණ්ඩ කතා කියන්නිය කවන ෂෙහෙරසාද් ය. හැම රාත්‍රියකදීම හැම කතන්දරයකින්ම සිය ජීවිතයේ එක්දිනයක් උපයා ගන්නේ ෂෙහෙරසාද් ය.

කතන්දරයක් අසා සිටින්නා සැමවිටම පසුවන්නේ වංගගිරි මනෝභාවයක ය. ගතින් කොතැන සිටියත් ඔහුගේ සිත පවතින්නේ එතැන නොවේ; වෙනත් විශ්වයක ය. කතන්දර අසන්නෝ එකම මොහොතකදී දෙතැනක ජීවත් වෙති. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව එකම මොහොතකදී දෙතැනක පවතින මූලික අංශු පිළිබඳ දළ අදහසක් ද එහි වෙයි. ඒ අනුව අප හිතනවාට වඩා සාහිත්‍යය හා ක්වොන්ටම් භෞතිකවාදය තුළ සමානකම් බොහෝ ඇත යැයි ඔහු කියයි. ප්‍රබන්ධයට කළ හැක්කේ කුමක් ද? යි තවත් විටෙක අසන ඔහු ඊට පිළිතුරක් ද ලබා දෙන්නේ මානවයා ආරක්ෂා කිරීමට යනුවෙනි. අනෙකා යනු කවරෙක් ද?

දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සිරගතවී, කොටුවී සිටින්නේ ‘මානව වර්ගයා’ නම් වූ සීමාවෙහි යැයි ගියෝර්ගි පවසයි; මේ සීමාව අතික්‍රමණය කළ යුතු කාලය උදාවී ඇත්තේ යැයි කියා ද කියයි. සුළු මොහොතකට මිනිසා නිශ්ශබ්දතාවට ඉඩ දෙමින් (කතන්දරකරුවන්ගේ) මාළුවෙක්, බත්කූරෙක්, මුගටියෙක් නැතහොත් බට ගහක්, ඕකිඩ් මලක් හෝ ගල්කැටයක් නගන සියුම් හඬට කන්දිය යුතුව ඇත්තේ එහෙයිනි.

අවසානයේදී ඔහු කියන්නේ ‘නපුරු සිහිනවලට ඉඩදිය නොහැකි නිසා මම ලියමි’ යි කියා ය.

‘මම කතා කියමි; ඒ නිසා මම පවතිමි’ යි කියන්නේ ද ගියෝර්ගි ගොස්පොදිනොව් ය. මෙය ඇසූ – කියවූ සැණින් අපට සිහිවන්නේ නූතන බටහිර දර්ශනය පිතෘත්වයෙන් සලකන ඩේකාට්ගේ සුප්‍රකට නිර්වචනය වන මම සිතමි; ඒ නිසා මම පවතිමි යන්න ය. රෙනේ ඩෙකාට් (ක්‍රි.ව. 1596-1650) විප්ලවකාරි දාර්ශනික ආකෘතියකින් දර්ශන ඉතිහාසයට නැවුම් පිටුවක් එක් කළ අයුරින්ම නූතන සාහිත්‍ය කතිකාවට ගියෝර්ගි ගොස්පොදිනොව් ඉසියුම් ආලෝක පුංජයක් එල්ල කර ඇති බව අපගේ අදහසයි.

කතන්දර ද වංගගිරියකි. කතන්දර කීම යනු වංගගිරියක චාරිකාවක් ඇරඹීමකි. අවුරුදු 49 කට පෙර තමා දුටු, නපුරු සිහින ලියා තැබීමෙන් පසු කිසිදා තමාට හමු නොවූ ඒ භයංකර සිහිනවලදී හමුවූ – ළිං පතුළ සිහිකැඳවමින් ඔහු කියා සිටින්නේ දැනටත් තමා නොනවත්වාම ලිවීමේ හේතුව ය; එදා ඒ නපුරු සිහිනය කඩදාසියක ලියා තැබූ කුඩා පිරිමි දරුවාට තිබූ හේතුවලින් මේ ලිවීම බොහෝ වෙනස් වී නැති බව ය.

කැත්ලීන් ජයවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment