රට ගොඩනගන්න හැකි ශක්තියෙන් දායක වෙන්න – ජනපති නිදහස් පණිවිඩයෙන් කියයි

118

බංකොලොත් රටක් ලෙස නම්කර තිබූ රට යළි ආර්ථික ස්ථාවර මට්ටමට ගෙන ඒමට හැකිවූ බැවින් රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සුබ පැතුම් පණිවුඩය මෙසේය.

නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේ ය. දුෂ්කරතා විඳ දරා ගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළට සහය දීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි. මේ මගෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත.

ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත.

1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමටය.

අතීත වැරදි යළි සිදු නොකළ යුතුය. වත්මන් ගමන් මග නිවැරදි බව දැන් මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මගෙහි ම ඉදිරියට ගොස් යළිදු සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගනිමු. රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

advertistmentadvertistment
advertistmentadvertistment