කථානායක රටේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධානම හේතුවක් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

60

ආණ්ඩුවෙනුත් කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙයි කියලා හිතුවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

ලබාදුන් සංශෝධන නොතකා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලු කිරීමක් – මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ)

රටේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධානම හේතුවක් වූයේ කථානායකවරයා බවත් එදා එකඟතාවට අනුව මුදල් කමිටුව විපක්ෂයට ලබා දුන්නා නම් ආර්ථිකය බංකොලොත් වන බව වසර දෙකකට කලින් දැනගන්නට ඉඩ තිබුණු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කරමින්, කිරිඇල්ල මහතා මේ බව පැවැසීය.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

කථානායකවරයා මේ ධුරයට ආවට පස්සේ දේශපාලන සම්බන්ධකම් අත්හැරියේ නෑ. ඔහු කරගත් විශාල වැරැද්ද ඒකයි. බි්‍රතාන්‍ය සම්ප්‍රදාය තුළ තියෙනවා කතානායක ධුරයට බැඳුනම දේශපාලන සම්බන්ධකම් අත්හරින්න ඕනේ. ඔහු තාම වැලිගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. ඒක ජනාධිපතිතුමා ලබාදෙන දේශපාලන පත්වීමක්. දේශපාලන පත්වීමත් තියාගෙන ඔය පුටුවෙ ඉඳගෙන ගන්නා සෑම තීරණයක් පිටිපස්සෙම දේශපාලනයක් තියෙනවා කියලා අපිට පේනවා. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් කළා. ඒ පිටිපස්සෙ තිබ්බෙ දේශපාලනය.

කථානායක වශයෙන් එතුමාට කියන්න තිබ්බා ස්ථාවර නියෝග අනුව ආංශික අධීක්ෂණ කාරක සභාපති කරන්න ඕන කියලා. නමුත් කතානායකවරයා දේශපාලනයට යටත් වුණා. මුදල් කමිටුවේ සභාපතිකම විපක්ෂයට ලබාදෙන්න ඕන කියලා 121/1 සඳහන් වෙනවා.සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු විය යුත්තේය යැයි සඳහන් වෙනවා. ඔහුගේ වගකීම තමයි මේක ආරක්ෂා කිරීම. ඔහුගේ වගකීම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කිරීම. නමුත් කතානායකවරයා එය කළේ නෑ. මොකක්ද ඔහු කරේ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරන දවසක න්‍යාය පුස්තකයට වගන්තියක් දැම්මා ස්ථාවර නියෝග අත්හිටුවන්න කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට මුදල් කමිටුවේ සභාපතිකම දුන්නා. කථානායකවරයා තමයි න්‍යාය පුස්තකය හැදුවේ. මේ වැඩේ හරිද? එදා මේ ආණ්ඩුවේ සියල්ල ඒකට අත්පුඩි ගැහුවා. දැන් මැරිලා ඉපදුනා වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඇත්තටම හිරිකිතයි නීතිඥ මහත්වරු කියාගන්න අයත් එදා අත්පුඩි ගැහුවා.

ඇත්ත වශයෙන්ම අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධානම හේතුවක් වුණේ කථානායකවරයා තමයි. එදා මුදල් කමිටුව විපක්ෂයට ලබා දුන්නා නම් වසර දෙකකට කලින් අපි කියනවා ආර්ථිකය බංකොලොත් වෙනවා කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් හැමදේම හැංගුවා. අපි කවුරුවත් දැනගෙන හිටියේ නෑ ආර්ථිකය බංකොලොත් කියලා.මහ බැංකු අධිපතිවරයා අහම්බෙන් පාර්ලිමේන්තුවට ආවම මම ඒ පිළිබඳ ප්‍රශ්න කරාම තමයි මහ බැංකු අධිපතිවරයා කිව්වේ මිලියන 20යි සංචිත තියෙන්නේ කියලා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳ ප්‍රධාන චරිතය කථානායකවරයායි.

අද කෝප් කමිටුවට මොකද වෙලා තියෙන්නේ? කෝප් කමිටුව අද විහිළුවක් වෙලා. ආණ්ඩුව කොච්චර කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය දන්නවා දූෂණය නැති කරනවා කිව්වට කෝප් කමිටුව දිහා බැලු වම ඒක සනාථ වෙන්නේ නෑ. කථානායකවරයා වරද්ද ගත්තේ ඔය පුටු ඉඳන් ගත්තු හැම තීරණයක්ම දේශපාලන කෝණයකින් බලපු නිසයි. කථානායකවරයා විධායකයේ අතකුළුවක් වෙලා. මං කලිනුත් කිව්වා කතානායකවරුන්ගෙන් වැරදි සිද්ධ වෙනවා. වර්තමාන බි්‍රතාන්‍ය කතානායකවරයත් ළඟදි විශාල වැරැද්දක් කෙරුවා.

ආණ්ඩුව අද ඡන්දවලට බයයි. පුළුවන් නම් පළාත් පාලන මැතිවරණය තියන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු සමීක්ෂණයට අනුව පොහොට්ටුවට තියෙන්නේ 9%යි. අනික් ගණන් මම කියන්න යන්නේ නෑ. එයාලට කරන්න ඇරලා අපි නිකන් හිටියා. මොකද ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දන්නවා. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන මේ අන්තිම කාලේ හරි පව් සමා කරගන්න වැඩ ටිකක් කරන්න. වැරදි කා අතිනුත් සිද්ධ වෙනවා. අංගුලිමාල මිනිස්සු දාහක් මැරුවා ඇගිලි කපලා. අන්තිමට රහත් වුණා. ඔය අයටත් රහත් වෙන්න පුළුවන් ඕනේ නම්. ධර්මය තුළින් අපිට හොඳ උදාහරණ තියෙනවා.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ – පසුගිය අවුරුදු කිහිපය තුළ මූලාසනයේ අඩුපාඩු රැසක් අපිත් දැක්කා. කථානායකතුමා විපක්‍ෂයට ඉල්ලන ඉල්ලන වෙලාවල් දෙනවා. ආණ්ඩුවට උත්තර දෙන්න වෙලාවක් නෑ. මම හිතුව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක් ගෙනෙයි කියලා. අද ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු කථානායකට බණිනවා. හැමෝගේම ඉල්ලීම්වලට කථානායකට ඇහුම්කන් දෙන්න අමාරුයි. ඔන්ලයින් පනතේ 13 වන වගන්තිය සංශෝධනය කර තිබෙනවා. ඒ කරපු චෝදනාව වැරදියි.

17 වගන්තිය සංශෝධනය කරල තියෙනවා. 20 වන වගන්තිය ඉවත් කරලා. මේ විශ්වාසභංගය හදල තියෙන්නේ පනත් කෙටුම්පත හා පනත නිවැරැදිව බලලා නොවෙයි. වගන්ති අංක වෙනස් කරලා තියෙන්නේ. වගන්ති 4ක ගැටලුවක් තියෙනවා. එයට කැබිනට් එක සංශෝධනත් ගෙනැවිත් තියෙනවා.

මේ විශ්වාසභංගය විපක්‍ෂය අමාරුවේ දාන්න දුන්න වැරදි උපදෙසක්.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් – පොලිස්පතිවරයා නම් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව කිසිවක් නොකර කථානායකවරයා ලිපියකින් ඔහුගේ ස්ථාවරය ජනාධිපතිට නම් කළාම මෙහි ගැටලු පවතිනවා. එය සම්පූර්ණයෙන් වැරැදියි.

කථානායකවරයා අපක්‍ෂපාතී විය යුතුයි. දිගින් දිගටම පක්‍ෂග්‍රාහීව ඔහු ක්‍රියා කිරීම නිසා ජනතාවගේ විශ්වාසය බිඳවැටුණා.

පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන ලබාදුන් පසුව ඒ ගැන නොසිතා ක්‍රියා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලු කිරීමක්. නීතිය පාගා දැමීමක්.

පොලිස්පති පත්වීමට ඡන්ද 5 ක් අවශ්‍යයි. නමුත් ලැබුණේ ඡන්ද 4 යි. ඡන්ද 5 ක් නැත්නම් කළ යුත්තේ ජනපතිට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැති බව දැනුම් දීමයි. එහෙත් හැංගිහොරා 5 වන ඡන්දය ලබාගත්තා.

රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – මේ විශ්වාසභංගය පුස් වෙඩිල්ලක්. දින 3ක් මේ ගැන විවාද කරන්න සිදුවී තියෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොතක් ගැහුවා. ඒ පොතයි මේ විශ්වාසභංගයයි එක වගෙයි. ගන්න දෙයක් නෑ. අපට බලය ලැබුණු වෙලාවේ තීන්දු තීරණ ගත යුතුයි. පසුව අඬලා දොඩලා වැඩක් නෑ. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ විශ්වාසය රැකිය යුතුයි. වගකීමෙන් දේශපාලනඥයන් ලෙස වැඩ කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී, දිසානායක (ශ්‍රීලපොපෙ) – ව්‍යවස්ථාදායක සභාව හදලා තියෙන්නේ මෙරට ප්‍රධාන පුද්ගලයන් ගැන තීන්දු ගන්න. ව්‍යවස්ථානුකූලව කථානායකවරයා පක්‍ෂව 4 යි විපක්‍ෂව 4 යි කියන තීන්දුව තුළ තම තීන්දුව ගත්තා. මෙය නිවැරැදියි. හරියට තීන්දුවක් ගන්න බැරිනම් මේ සභාව කිසිම වැඩක් නෑ.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ) – විශ්වාසභංගයට පාර්ලිමේන්තුවෙන් සියයට 25 ක් අත්සන් කරලා. එහි නිශ්චිත චෝදනා තිබෙනවා. මහ බැංකු පනතේ වගන්ති 46 ක් සඳහා විශේෂ බහුතරය අවශ්‍ය බව අධිකරණය කියනවා. තවත් වගන්ති පුදුම සහගතයි. මේ ගැන අපි ප්‍රශ්න කරද්දි කථානායකවරයා නෑසූ කන්ව සිටියා. කිසිම අවස්ථාවක් දුන්නේ නෑ.

පොලිස්පති පත් කිරීමේදී ඡන්දය පාවිච්චි කරන විට කථානායකට ව්‍යවස්ථාදායක සභාව තුළදී ඡන්දය දෙන්න තිබුණා. ව්‍යවස්ථාදායක සභා වාර්තාවේ ඒ ගැන සඳහනක් නෑ. ගෙදර ගිහින් ජනාධිපතිට ලියුමක් යවලා කැමැත්ත කියනවා. කථානායකගේ හැසිරීම ගැන ලැජ්ජයි, කැතයි.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු

මේ රටේ ජනාධිපතිවරයා නැති වෙලාවේ කථානායකවරයා රට වෙනුවෙන් ක්‍රියාකළා. නිර්භීතව ක්‍රියා කළා. පාර්ලිමේන්තු ක්‍රමය රැකගන්න ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ක්‍රියාකළා. අරගල වෙලාවේ හමුදා නායකයා ගෙනැල්ලා උපදෙස් දුන්නා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න කියලා. තම පක්‍ෂය ගැන නොව රට ගැන හිතලා කටයුතු කළා.

අපි ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්න යද්දී කථානායකවරයා අල්ලාගෙන රටේ වැඩ කඩාකප්පල් කරන්න කරපු දෙයක් තමයි මේ විශ්වාසභංගය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) – පාර්ලිමේන්තුව මොන තරම් පනත් සම්මත කළා ද? විපක්‍ෂය උත්සහ කරන්නේ පාර්ලිමේන්තුව පුස්සක් බව කීමටයි. හුදු දේශපාලන වාසි ගන්නයි මේ විශ්වාසභංග ගෙනඑන්නේ.

කථානායකවරයා ආණ්ඩුවට පක්‍ෂපාතී නෑ, අපේ යෝජනාත් ඉවත දාලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු දෙපැත්තටම ඇහුම්කන් දෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment