කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය දින 3කට දික් වෙයි

70

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය ඊයේ (19දා) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර අතිරේක දිනයක් ලෙස අනිද්දා ද (21දා) විවාදය සඳහා ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව එම දෙදින විවාදය තෙදින විවාදයක් දක්වා දීර්ඝ කෙරුණු අතර 21 වැනිදා පස්වරු 4.30ට විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙයි.

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස යෝජනා කරමින් විපක්ෂයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඊයේ විවාදය ආරම්භ කළ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙම යෝජනාව සම්ප්‍රදායික ලෙස ගෙන ආ යෝජනාවක් බව කියමින් සිය කතාව ආරම්භ කළේය.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගන්නා බැවින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ කථානායක අසුනට නොපැමිණි අතර යෝජනාව විවාද කිරීම ආරම්භ කරන අවස්ථාවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුන හෙබවීය. විවාදය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සභාවේ රැස්වීමක් (පක්ෂනායක) පෙරවරු 11ට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව නතර කිරීමට ද නියෝජ්‍ය කථානායකවරයා පියවර ගත්තේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment