උපකාරක පන්ති යන්න දුම්රිය මගේ ගිය සිසුවකුගේ ගෙල කපා බෑගය සොරාගනී

566

සැකකරු සොයා පරීක්‍ෂණ

උපකාරක පන්ති යන අතරේ දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කර ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මීරිගම පොලිසිය කියයි.

පෙරේදා (6දා) දහවල් මේ සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

බස් රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කර ඇතැයි ද එසේ යන අතර දී ඔවුන් දෙදෙනා කෑගසාගෙන ආපසු එනවා පිටුපසින් ගමන් කළ තවත් පාසල් සිසුන් දෙදෙනකු දැක ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම සිසුන් වෙනදත් උපකාරක පන්තිය සඳහා ගමන් කර ඇත්තේ දුම්රිය මාර්ගය දිගේ බවද පන්තිය ආරම්භ කිරීමට කාල වේලාව පවතින නිසා මෙසේ තවදුරටත් දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට යද්දී මේ සිද්ධිය වී ඇතැයි හෙළි වී ඇත.

ගෙල කපා බෑග් එක පැහැර ගැනීමත් සමග ආපසු දිව ගිය අනිත් සිසුවා තුවාල සිදුවූ සිසුවාව මීරිගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සිසුවාගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පිටුපසින් ගමන් කළ සිසුන් දෙදෙනා දුරකථනය බලමින් ගමන් කර ඇති නිසා සිදු වූ සිද්ධිය පිළිබඳව දැක නැති අතර ඉදිරියෙන් ගිය දෙදෙනා කෑගහනවා ඇසී බලද්දී පුද්ගලයෙකු විල්වත්ත රේල් ගේට්ටුව දෙසට දිව යනවා දැක ඇතැයි හෙළි වී ඇත.

උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment