ජාවාරම්කරුට ගැනුම්කරු මාරුවෙයි – පොලිස් නිලධාරියාට හෙරොයින් විකිණූ අය අත්අඩංගුවට

139

වැටලීමක් සඳහා සිවිල් ඇඳුමකින් සැරසී ගොස් සිටි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාටම පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට ගොස් අත්අඩංගුවට පත් වූ පුවතක් පෙරේදා (06දා) අම්බලන්තොටින් වාර්තා විය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

අම්බලන්තොට හා අවට ප්‍රදේශවල සිදුවන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන අම්බලන්තොට ස්ථාන කිහිපයක ස්ථානගතව සිට තිබේ. එම අවස්ථාවේදී අම්බලන්තොට වලවේවත්ත පදිංචි හෙරොයින් ජාවාරම්කරුවෙකුට සිය මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා කවුද යන්න සොයා ගැනීමට නොහැකිව වෙස්වලාගෙන සිටි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අසලට ගොස් ඔහුට අදාළ හෙරොයින් අලෙවි කිරීමට සැරසුණු අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් පිරිස විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට වලවේවත්ත පදිංචි විවාහක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1280ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට නිලධාරීන් කණ්ඩායමට හැකිව තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලිසියට භාර දී තිබේ.

තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment