වැට් වදින හැටි – භාණ්ඩ 97කට අලුතින් වැට්

500

ඩීසල් පෙට්‍රල් ගෑස්වලටත් වැට් වදී
ජීවන බර සමග උද්ධමනයත් ඉහළට

භාණ්ඩ හා සේවා මත අය කරන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය සියයට 18 දක්වා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක වේ.

දැනට පවතින වැට් බදු අනුපාතිකය සියයට 15 ක් වන අතර මේ අනුව දැනට වැට් බද්ද අදාළ වන භාණ්ඩවල බදු ප්‍රතිශතය සියයට 3 කින් ඉහළ යනු ලබයි.

එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් සියයට 18 කින් එම බද්ද පැනවීම ද සිදු වේ. භාණ්ඩ වර්ග 97 ක් සඳහා මේ අනුව අලුතින් වැට් බදු පැනවීමත් සමග එම භාණ්ඩ අලුතින් සියයට 18 ක වැට් බදු වැඩිවීමකට යටත් වේ.

මෙතෙක් වැට් බදු අය නොවුණු ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් යන භාණ්ඩ සඳහා ද වැට් බදු අදාළ වන අතර මෙතෙක් ඩීසල්, පෙට්‍රල් මත අය කළ සියයට 7.5 ක්වූ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් වන බැවින් එම මිල ගණන් සියයට 18 කින්ම වැඩි නොවන බව ද රජය කියයි.

මේ බදු යෝජනා අද සිට ක්‍රියාත්මක වීමත් සමග අදාළ භාණ්ඩ මිල ගණන් අදාළ ප්‍රතිශතයන්ගෙන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ඒ අනුව මහජනයාගේ ජීවන බර තවත් සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැයි ද ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව සියයට 2-3 ත් අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකථනය කර තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අලුතින් භාණ්ඩවලට වැට් බද්ද අදාළ කිරීම නිසා වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව අඩු වුවත් තවදුරටත් අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති හාල්මැස්සන්, ලොකු ලූනු, කරවල වැනි අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ නොවන බවත් රජය පවසයි.

රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා බදු ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක කිරීම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වසරේ මුල් මස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් තිබේ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකිව ඇත. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවලට අනුකූලව බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මෙම වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට සහ අලුතින් භාණ්ඩ රැසකට වැට් බද්ද පැනවීමට රජය තීරණය කළේය.

ණය තිරසරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩිවන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment