උත්සව සමයේ ආර්ඩීඒ මාර්ග රක්‍ෂිතවල භාණ්ඩ අලෙවියට තාවකාලික අවසරයක්

58

උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවසරය ලබාදුන් බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන්ට මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර ගාස්තු ගෙවීමකින් තොරව සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට අවසර හිමි වනු ඇත.

බොහෝ නිෂ්පාදකයන් සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව අපහසුතාවන්ට ලක්ව ඇති බව ද, ඒ අනුව ඔවුනට මෙමගින් සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට වෙළෙඳ පොළ අවස්ථාව උදාවන බව ද, මේ වනවිට මහරගම ඇතුළු ස්ථාන කිහිපයක රෙදිපිළි සහ ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන වෙන්කර දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවල උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නියුතු නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment