බීමත් පියා පුතාගේ ඇඟට උණුවතුර හලලා

440

බීමත්ව පැමිණි පියා අවු 03ක් වයසැති තම වැඩිමහල් පුතාට උණු වතුර වක් කිරීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ දරුවා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත (24) දින පස්වරුවේ ඇතුළත් කර ඇති බව ලිඳුල පොලිසිය පැවසීය.

ලිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා (24) දින පස්වරුවේ අධික ලෙස බිමත්ව පැමිණ සිය මව සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එහිදි උරණ වූ සැකකාර පියා මුළුතැන්ගෙට ගොස් රත් වී තිබූ කේතලයේ උණු වතුර සිය දරුවාගේ ඇඟ මතට ඉසීම නිසා දරුවාගේ කොන්ද ප්‍රදේශය පිළිස්සුම් තුවාල සහිත ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිඳුල පොලිසිය කියා සිටී.

සැකකරු සහ ඔහුගේ බිරිඳ කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දරුවන් දෙදෙනා මිත්තණියගේ භාරයේ තබා සැකකරු සහ බිරිඳ රැකියාවේ නිරතව සිටින බවත්, (24) දින පස්වරුවේ සැකකරු පමණක් අධික ලෙස බීමත්ව නිවසට පැමිණි අවස්ථාවේ මව සමග ආරවුලක් ඇති කර ගෙන ඇත.

සැකකරු විසින් තම මුණුබුරාගේ ඇඟ මතට උණු වතුර වැක්කෙරූ බවට මිත්තණිය විසින් ලිඳුල පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

සැකකරුගේ මව වන ජී.රොස්මේරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තම පුතා මිතුරන් සමග අධික ලෙස බීමත්ව නිවසට පැමිණ තමන් සමග ආරවුලක් ඇති කරගෙන කුස්සියේ තමා සමග වාඩි වී සිටි මුණුබුරාගේ ඇඟට රත් වී තිබූ කේතලයේ වතුර වැක්කෙරූ බවයි.

සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවද ලිඳුල පොලිසිය පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment