නෙදර්ලන්තය පෙරළි කරද්දී ශ්‍රී ලංකාව අන්තිම තැනට වැටේ

414

එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම පෙරේදා (17 වැනිදා) සමත් වීමත් සමග මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයට හෙවත් අවසන් ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පෙරේදා තරගයට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේද නෙදර්ලන්තය 10 වැනි ස්ථානයේ ද රැඳී සිටි අතර එම පෙරළිකාර ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය 09 වැනි ස්ථානයට පත් වූයේය.

නෙදර්ලන්තය පෙරළි කරද්දී ශ්‍රී ලංකාව අන්තිම තැනට වැටේ

ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර ඊයේ ආරම්භ වූ තරගයට පෙර සියලු කණ්ඩායම් තරග 3 බැගින් ක්‍රීඩා කර තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් ඒ වනතෙක් එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගෙන නොතිබිණි.

තරග තුනම ජයග්‍රහණය කළ ඉන්දියාව සහ නවසීලන්තය ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටි අතර තරග දෙකක් බැගින් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව සහ පකිස්තානය පිළිවෙළින් තුන්වන සහ සිව්වැනි ස්ථානවල රැඳී සිටී.

එංගලන්තය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය අනතුරුව පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ තම ස්ථාන වෙන් කරගෙන ඇත.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකාව, පකිස්තානය සහ ඔස්ටේ්‍රලියාව හමුවේ තරග වැදුණු අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය ලබන 21 වැනිදා නෙදර්ලන්තය සමග ලක්නව් හිදී පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර නොබෝ දිනකින් ඔහු නැවත කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

නෙදර්ලන්තය පෙරේදා ලද ජයග්‍රහණය මෙවර තරගාවලියේ දෙවෙනි පෙරළිය ලෙස සැලකෙන අතර ලෝක ශූර එංගලන්තය පසුගිය 15 වැනිදා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වූයේය.

කෙසේ වෙතත් පසුගිය පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ද නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරන ලදී.

පෙරේදා තරගයේ ලකුණු සාරාංශය,

නෙදර්ලන්තය – ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 245

(මැක්ස් ඔඩොව්ඩ් 18, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් 19, තේජා නිදමනුරු 20, ස්කොට් එඩ්වඩ්ස් 78, වැන්ඩර් මර්ව් 29, ආර්යන් දත් 23, මාකෝ ජැන්සන් 27/2, කගිසෝ රබාඩා 56/2, ලුංගි න්ගිඩි 57/2)

දකුණු අප්‍රිකාව – ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 207

(ටෙම්බා බවුමා 16, ක්වින්ටන් ඩිකොක් 20, හෙන්රිච් ක්ලාසන් 28, ඩේවිඩ් මිලර් 43, ජෙරල්ඩ් කොයෙට්සර් 22, කේෂව් මහරාජ් 40, ලෝගන් වැන් බීක් 60/3, වැන්ඩර් මර්ව් 34/2, බස් ඩිලීඩ් 36/2, පෝල් වැන් මීකිරන් 40/2)
කුෂාන් සුබසිංහ ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment