අම්බලන්ගොඩ රැකවල් මැදින් රිංගා පාතාලය ගිනි බිඳිති

686

පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුම් නිසා අම්බලන්ගොඩ නගරය ඇතුළු ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ නිලධාරීන් යොදවා තිබියදීත් ඊයේ (31 වැනිදා) දහවල් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලට යතුරුපැදියකින් පැමිණ පාතාලය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මහ දවාලේ සිදුවූ මේ වෙඩි තැබීම නිසා එම ප්‍රදේශයේ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවූ අතර වෙඩි තැබූ සැකකරු මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ රන්කොම්බු වික්‍රම් නිලන්ත නමැති පුද්ගලයකු බළපිටිය රෝහලට ඇතුළත් කර ඇත. විදේශයකට පලාගොස් සිටින කොස්ගොඩ සුජී හා දිල්ශාන් තාබෲ නමැති පාතාල කල්ලි දෙක අතර කාලයක් තිස්සේ ඇති වී තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.

මීට පෙරාතුව අවස්ථා කිහිපයක දීම අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පාතාල ගැටුම් නිසා ඉකුත් කාලයේ දී කිහිපදෙනකු ඝාතනයට ලක්ව තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

මේ හේතුව නිසා අම්බලන්ගොඩ නගරයේ මෙන්ම බළපිටිය හා රත්ගම ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ (එස්ටීඑෆ්) විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට ආරක්‍ෂක අංශ කටයුතු කර තිබිණි. ඊට අමතරව සිවිල් හා නිල ඇඳුමින් පොලිස් නිලධාරීන් ද යොදවා තිබියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි තබා ඇත්තේ පිස්තෝල භාවිත කර යැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

තුවාල ලැබූ පුද්ගලයා පාතාලයට ඍජු ලෙස සම්බන්ධ අයෙක් දැයි පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. දැනට හෙළිවී ඇත්තේ එම තුවාල ලැබූ පුද්ගලයා මුදල් පොලියට දීම හා සූදු මෙහෙයවීමේ කටයුතු කර තිබෙන බවයි.

තුවාල ලැබූ පුද්ගලයා වෑන් රථයකින් ධර්මාශෝක විද්‍යාලයට පැමිණ ඇත්තේ පාසලේ සිටින දරුවා නිවසට ගෙන යෑමට යැයි පොලිසිය පවසයි.

පාතාල කණ්ඩායම් දෙකක් අතර මතුවී තිබෙන මෙම ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුට ද ඉකුත්දා පාතාලය වෙඩි තැබූහ. ඉන් ඔහු ද බරපතළ තුවාල ලැබීය. මේ අතර අම්බලන්ගොඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනකුට ම පාතාලය වෙඩි තැබීම් සිද්ධි කිහිපයක්ම මෑත කාලයේ සිදුවී ඇත.

ඊයේ (31 වැනිදා) වෙඩි පහරට ලක්වූ පුද්ගලයා අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි පහර ඔහුගේ උදරය ප්‍රදේශයට වැදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment