සූරියවැව වනඅලි ගැටලුව උග්‍රවෙයි

244

පැය 12ක දී පුද්ගලයෝ දෙදෙනෙක් මරුට

ඉවක් බවක් නැතිව කැලෑ එළිකිරීමෙන් අලි මිනිස් ගැටුම උග්‍රවුණා- ගම්මු කියති

සූරියවැව, වැවේගමදී සහ සූරියවැව වැලිවැවදී පුද්ගලයන් දෙදෙනකු වන අලි ප්‍රහාරවලින් පෙරේදා (31 දා) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පහළ මත්තල, ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නමැති අය හා සූරියවැව මීගහජඳුර පදිංචි 65 හැවිරිදි ඈපා ජයවර්ධනගේ

ජයදාස නමැති අයයි. පළමුවැනි අලි පහරදීම සිදුව තිබුණේ 31 වැනි දින පෙරවරු 10ට පමණ සූරියවැව, වැවේගම ජයසේකර වැව අසලදීය. මියගිය පහළ මත්තල, ලුණුගම්වෙහෙර ලිපිනයේ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නමැති අය තවත් පුද්ගලයකු සමග පැමිණ වැවේගම රක්ෂිත ප්‍රදේශය තුළ හේනක් සෑදීමට කැලය කපමින් සිටින අවස්ථාවේ ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී තිබේ. ඔහු සමග සිටි අනිත් පුද්ගලයා දිවි බේරාගෙන තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් වන අලියා මියගිය පුද්ගලයා ආසන්නයේ රැඳී සිටීම හේතුවෙන් දේහය කැලයෙන් එළියට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට පොලිසියට සිදුවීය. මෙම වන අලි ප්‍රහාරය සිදුව පැය 12ක් යන්නත් මත්තෙන් දෙවැනි වන අලි ප්‍රහාරය සිදු වූයේ සවස 06.30ට පමණ සූරියවැව මීගහජඳුර වැලිවැව ප්‍රදේශයේදීය. සවස 05ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ගවයින් බැලීමට වැලිවැව රක්ෂිතය තුළට ගොස් සිටි අවස්ථාවේ වන අලියා එනු දැක දෙදෙනාම අසල වූ ගසක තිබූ පැළකට නැග තිබේ. එම අවස්ථාවේ වන අලියා ගස සොලවා පෙරළා දමා ඇති අතර එහිදී බිමට වැටුණු එක් පුද්ගලයෙකු දිව යන අවස්ථාවේ ඔහු පසු පස හඹාගොස් ඔහුව මරා දමා තිබේ. අනෙක් පුද්ගලයා ගසට යටවීමෙන් තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

සූරියවැව – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment