ආර්ථිකය නිසා එංගලන්තයේ වැඩි දෙනකුට නින්දක් නැතිලු

622

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගෙවීමට ඇති බිල්පත් මුදල් වැඩි වීම හා ණය පොලී අනුපාතිකයන් ඉහළ යෑම හේතුවෙන් එංගලන්තයේ වැසියන් මිලියන 28කට අධික සංඛ්‍යාවකගේ මානසික ආතතිය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත් සැම වැසියන් හතරදෙනකුගෙන් එක් අයකුටම ආර්ථික ගැටලු මත නින්ද නොයෑමේ තත්ත්වයක් උද්ගතව ඇති බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

එංගලන්තයේ මූල්‍ය චර්යා අධිකාරිය විසින් රට පුරා වෙසෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් ආශ්‍රිතව සිදු කර ඇති මෙම සමීක්ෂණයට අනුව එරට මිලියන 11ක් පමණ දෙනා සිය බිල්පත් හා ණය පොලිය නැවත ගෙවීම අසීරු තත්ත්වයක පසු වන බවත් සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම මුදල් ගැටලුවලට මැදි වීම දැවෙන ප්‍රශ්නයක් කරගෙන ඇති බව හෙළි වී තිබේ. ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා වූ කාලයේදී මිලියන 1.4ක් බිල්පත් හා ණය පොලිය ගෙවීම අසීරු වී ඇති සංඛ්‍යාවට එක් වී සිටින බව සමීක්ෂකයෝ පවසති.

පවතින මුදල් ගැටලු මත තමන්ට නින්ද අහිමි වී ගොස් ඇති බව සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 28කට අධික පිරිසක් පවසා තිබේ. ආර්ථික ගැටලු හේතුවෙන් එංගලන්ත වැසියන්ගෙන් හරි අඩක් පමණ තම අත්‍යවශ්‍ය නොවන දෑ මිලදී ගැනීම සඳහා සිදු කරන වියදම් කපා හැර ඇති අතර වැඩිහිටියන් සිය දෛනික වියදම් විශාල වශයෙන් සීමා කිරීමට කටයුතු කර ඇති බව පුද්ගලික බැංකුවක් මගින් සිදු කළ වෙනත් සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment