හර්ෂිතා සහ නිලක්ශි ශ්‍රී ලංකාවට දෙවෙනි ජයත් ලබා දෙති

273

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාව මත මෙවර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13 වැනිදා) අලුයම සමත්විය.

ඔවුන් දෙදෙනාගේ පිතිහරඹයට අමතරව එම ජයග්‍රහණයට පන්දු යැවීමෙන් නායිකා චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ දායකත්වය දැක්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8 කදී ලකුණු 126 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 18යි පන්දු 2 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දු 50 කට මුහුණ දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය.

එම ඉලක්කය හඹා යෑමේදී ප්‍රතිවාදී පිලේ මුරුෆා අක්ටර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 3 ම පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් ගෙන දුන්නත්, සිව්වැනි කඩුල්ලට එක් වුණු දකුණත් පිතිකාරිණී නිලක්ෂි සහ වමත් පිතිකාරිණී හර්ෂිතා ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. හයේ පහරක් සහ හතරේ පහර 8 කින් සමන්විත වුණු හර්ෂිතාගේ නොබිඳුනු ඉනිම ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයට මං පෙත් විවර කර දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් අවසන් වන විටත් පන්දු 22 කදී ලකුණු 22 ක් පමණක් ලබා සිටි හර්ෂිතා තමා මුහුණ දුන් 41 වැනි පන්දුවේදී ලකුණු 50 සම්පූර්ණ කර ගත්තා ය. අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් පසු රිතූ මෝනි විසින් යවන ලද ඊළඟ පන්දුවට හයේ පහරකින්ද තවත් පන්දු දෙකකට පසු 4 පහරකින්ද සංග්‍රහ කරමින් තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු පරතරය පන්දු 24 කදී ලකුණු 24 ක් වශයෙන් අඩු කර දුන්නාය. ඇයට අනගි සහායක් ලබා දුන් නිලක්ෂි ද සිල්වා තරගය නිමා වන විට පන්දු 38 කට මුහුණ දී නොදැවී ලකුණු 41 ක් ලබා සිටියාය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහර දෙද්දී පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ලකුණු 48 කට කඩුලු 2 ක් ලබා පහසුවෙන්ම ලකුණු 150 සීමාව පසුකර යෑමට තරම් තත්ත්වයක සිටියේය. එහෙත් අනතුරුව තරගයට අවතීර්ණ වුණු චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියෝ බංග්ලාදේශ කණ්ඩායම පීඩනයකට ලක් කළහ. එහිදී සිය පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළ චමරි ලකුණු 19 කට කඩුලු 2 ක්ද ඔෂධී රණසිංහ ලකුණූ 23 කට කඩුලු 3 ක්ද සහ ඉනෝකා රණවීර ලකුණු 18 කට එක් කඩුල්ලක් දවා ගනිමින් බංග්ලාදේශය ලකුණු 126 කට නවතාලූහ.

මෙම ජයග්‍රණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කදී ජයග්‍රහණය 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ ඉදිරියේදී ප්‍රබල ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර තරග දෙක පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකෙන් එක් තරගයක් ජය ගතහොත් කිසිදු අපහසුවකින් තොරව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (සෝභනා මොස්ටරි 29, නිගර් සුල්ටානා 28, ශමීමා සුල්ටානා 20, ඔෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2, ඉනෝකා රණවීර 18/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 129 යි – (හර්ෂිතා මාධවී 69ෆ, නිලක්ෂි ද සිල්වා 41ෆ, චමරි අතපත්තු 15, මුරුෆා අකටර් 23/3)

advertistmentadvertistment
advertistmentadvertistment