ඉදිරි මාසය තීරණාත්මකයි – යුද හමුදාපති

652

ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

එසේම කොවිඞ් වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ එන්නත් කිසිදු මාත‍්‍රාවක් ලබා නොගත් පිරිස් සිටී නම් හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටී. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

තුන්වෙනි මාත‍්‍රාවක් ලබාදීම මේ වන විට බොහෝ රටවල් ආරම්භ කරලා තියෙනවා. ලංකාවේත් තුන්වැනි මාත‍්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේදී සාකච්ඡුා කළා. එහිදී ජනාධිපතිතුමන් තුන්වෙනි මාත‍්‍රාව සඳහා එන්නත් ඇණවුම් කරන්න උපදෙස් දුන්නා.

දැනට අපේ රටේ ජනතාවගෙන් සියයට 93 කට පළමු මාත‍්‍රාව ලබාදී අවසන්. ඒ වගේම සියයට 23 කට පළමු සහ දෙවැනි මාත‍්‍රා ලබාදී අවසන්. දැනට වෛරසයෙන් මියයන පිරිසගෙන් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් අය. ඒ නිසා 60 ට වැඩි පිරිස් වෙනුවෙන් එන්නත් කිරීම යළිත් සිදුකරනවා.

මේ වන විට යුද්ධ හමුදාව විසින් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඇස්ට‍්‍රාසෙනිකා දෙවැනි මාත‍්‍රාව, සයිනොෆාම් පළමු හා දෙවැනි මාත‍්‍රාව ලබාදීම සිදුකරනවා. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගොස් එන්නත ලබාගන්න කියලා. ඒ වගේම මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නියමිත ආකාරයෙන් පිළිපදින්න කියලා ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් ඉදිරි මාසය අපිට තීරණාත්මක වෙන්න පුළුවන්.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment