සජිත් මිහින්තලේ ලයිට් බිල ගෙවයි

560

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්‍ෂ හතළිස්එකක හිඟ විදුලි බිල්පත සමගි ජනබලවේගයේ සාමාජිකයන් හා දානපතියන්ගේ සහායෙන් ගෙවා දමා තිබේ. හිඟ විදුලිබිල මත පෙරේදා (03දා) මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය කපාදමා තිබිණි.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මිහින්තලේ රජමහා විහාරාධිපතින් වහන්සේ මුණගැසී ලබාදුන් පොරොන්දුව දින දෙකක් ඇතුළත ඉටුකළ බවයි.

විපක්‍ෂ නායක ලෙස තමන් උන්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ පසු ආණ්ඩුව එම රජමහා විහාරයේ විදුලිය කපා දැමූ බවයි.

මෙම හිඟ බිල්පත පමණක් නොව ඉදිරි පෙරහැරවලට වැයවන විදුලිබිල ද ගෙවා දැමීමට සමගි ජනබලවේගය සූදානම් බව ද එහි දැක්වේ.

රටක ශිෂ්ටාචාරයක් පෝෂණය කළ ඓතිහාසික කේන්ද්‍රස්ථානයකින් සිදුවන ආගමික, සංස්කෘතික සහ සමාජයීය මෙහෙවර අපමණ බවත් එවැනි ස්ථානවලට සහයෝගය ලබාදීම වගකීම බවත් විපක්‍ෂ නායකවරයා කියා සිටී.

එවැනි ස්ථානවල විදුලිය කැපීම බියගුළු හා අත්තනෝමතික කටයුත්තක් බවත්, බෞද්ධාගමික සහ අනෙකුත් ආගමික ස්ථානවලට ආණ්ඩුව කෙනෙහිලිකම් කරන බවත් විපක්‍ෂ නායකවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශිරාන් රණසිංහ

ඔහු දේශපාලකයෙක් නෙවේ දායකයෙක් – විදුලි බිල ගෙවූ සජිත්ට පින් – මිහින්තලේ නා හිමියෝ කියති

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම පක්‍ෂයේ බෞද්ධ උපදේශන කමිටුව මගින් බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4දා) යළි මිහින්තලා පුදබිමට විදුලිය ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පැවසූහ. ලක්‍ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර දැමුණේ 3 වැනිදාය.

නාහිමියෝ මෙසේ ද කීහ.

“මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා.”

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment