රුහුණු කුමාරි 06 බටහිර මුහුදේදී ගිනි ගනී – ධීවරයින් 7දෙනා බේරාගනී

44

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58 ක් පමණ දුරින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හත්දෙනෙකු බේරාගෙන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.

මෙම ධීවරයින් හත්දෙනා රුහුණු කුමාරි 06 නමැති බහුදින යාත්‍රාවෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ඉකුත් 08 වැනි දින පිටත්ව ගොස් තිබුණි. ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී බහුදින යාත්‍රාව ගිනි ගැනීමට ලක් වී ඇත. එම ගිනි ගැනීම නිරීක්ෂණය කළ වෙළෙඳ නෞකාවක් මෙම ආපදාව සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇත.

එම දැනුම් දීමට වහා ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රිය මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත ආපදාවට පත් යාත්‍රාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කඩිනමින් ගිනි ගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරනු ලැබිය. ගජබාහු නෞකාව පැමිණෙන තෙක් ආපදාවට පත් යාත්‍රාවේ සිටින ධීවරයින් මුදවාගැනීම සඳහා වෙළෙඳ නෞකාවක් යොමු කිරීමට කටයුතු කරනු ලැබීය.

අනතුරුව එම වෙළෙඳ නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදවාගත් ධීවරයින් හත්දෙනා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත රැගෙන අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment